
කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නීති උල්ලංඝනය කළයි චෝදනා ලැබ නිරෝධායනයට යොමු කර සිටි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඔවුන්ගේ නීතිඥවරුන් මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
නිරෝධායනය කිරීම යනු දඬුවමක් නොවන අතර, නිරෝධායන පනත ප්‍රකාරව තම සේවාදායකයන් මේ ආකාරයෙන් දණ්ඩනයකට යටත් කළ නොහැකි බැවින් ඔවුන්ගේ මූලික අයිතීන් කඩවී ඇතැයි එම නීතිඥවරුන් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත. අධිකරණයෙන් ඇප ලබාදී තිබියදී, පොලිසිය ඔවුන් අත්තනෝමතික ලෙස මේ අයුරින් රඳවා ගැනීම කර ඇති බව ද එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත.
කෙසේ නමුත් උපන් දින උත්සවයට සහභාගි වූ තම සේවාදායකයන් දෙදෙනා ඇතුළු 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටි අතර එහිදී සියලු දෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරිමෙන් පසු එහිදී එක් අයකු හෝ කොවිඩ් ආසාදිත බවට හඳුනා නොගත් බව ද එහි සඳහන් වෙයි.
මෙම පිරිස නිරෝධායනය අවසන් කර පස්සර නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ඊයේ (17) කොළඹට පැමිණි බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඉකුත් 30 වැනිදා රාත්‍රී කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති උපන් දින සාදයකට සහභාගිව සිටි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි යන අය කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එදින රාත්‍රියේදීය.පසුව, පොලිස් ඇප මත මුදාහැර ඇති මෙම සැකකරුවෝ ඉකුත් 31 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් වූහ.
එහිදී එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිමා ලියනගේ මහතා නියෝග කළේය.ඒ අනුව, එම උපන්දින සාදයට සහභාගි වූ තවත් 19 දෙනෙක් ඉකුත් 01 වැනිදා සහ 02 වැනිදා පෙරවරුවේදී කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුහු ද අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහරිනු ලැබූහ.
(නිමන්ති රණසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval