chamuditha-speaks

පියුමි හංසමාලි - අජිත් රෝහණ- සරත් වීරසේකර යන නම් සමග පැටලුණ චමුදිත සමරවික්‍රමගේ නම නැවත නැවත කරළියට පැමිණෙන්නේ ෂැංග්‍රිලා සාදයේ සංසිද්ධිය අලුත් අතකට හරවමිනි.
හරින්ද්‍ර ජයලාල්ගේ යූටියුබ් නාලිකාවට පැමිණි චමුදිත සමරවික්‍රම ප්‍රථම වතාවට නිවේදකයෙකු ඉදිරියේ සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටිමින් ඇතිවූ සංසිද්ධි හා ඔහුට පවතින මරණ තර්ජනයක් ගැන තොරතුරු හෙළි කර තිබේ.
මෙම සාකච්ඡාවේදී චමුදිත තමන්ගේ අවේගශීලී ප්‍රශ්න අසන ශෛලිය තම ස්වරූපය බවට මුලදී අදහස් දක්වන අතර නිවසේදී පවා බිරිය හා දියණිය ඉදිරියේ තමා කතා කරන්නේ ඒ ආකාරයට බව කියා සිටියේය.


දේශපාලන කඩේ යන්නෙකු යන චෝදනාව ගැන ඔහු කියන්නේ තමා ටීඑන්එල් නාලිකාවේ ජන හඩ වැඩසටහනින් වෘත්තිය ආරම්භ කරන්නේද රනිල්ට කඩේ යමින් බවයි. පසුව ජාතික රූපවාහිනියේත්, මෛත්‍රිපාල සිරිසේනගේ කෘෂිකර්ම ඇමතිවරයාගේ සිට ජනපති ධූරය දක්වා කාලයේත් තමාට ඒ ඒ අයගේ න්‍යාය පත්‍ර අනුව වැඩ කරන්නට සිදුවන්නේද ඒ අනුව බවත්, ලංකාවේ සම්ප්‍රදාය අනුව කඩේ යාම අරුමයක් නොවන බැවින් ඒ තුළ ස්වාධීනත්වයක් සෙවිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. තමා මහින්ද රාජපක්ෂ සමයේ ජාතික රූපවාහිනියේ සේවයෙන් නෙරපූයේද රජයේ දේශපාලකයෙකුගෙන් වැරදි ප්‍රශ්න ඇසුවේය යන චෝදනාවට බැසිල් රාජපක්ෂගේ නියෝගයක් මත බවද ඔහු කීය.

කෙසේ වෙතත් තමාගේම යූටියුබ් නාලිකා දෙකක් තිබෙන බවත් ඒවායේ මූලිකත්වය තමාට හිමි බැවින් ඒ තුළ ස්වාධීන අදහස් අනුව වැඩ කළ හැකි බවත් කියා සිටියේය. තමා සම්මුඛ සාකච්ඡා 220 පමණ දැනට කර ඇති බවත් ඒවයින් 7 කට පමණ මුදල් අය කර ඇති බවත් ඔහු හෙළි කළේය.
තමා මේ කාලයේ හිරු නාලිකාව සමග සම්බන්ධ වන්නේ ‘ෆ්‍රී ලාන්සර්‘ කෙනෙකු හැටියට බව කියා සිටි චමුදිත තමාට සති අන්තයේ පත්තර වැඩසටහන හා සලකුණ දේශපාලන වැඩසටහන ඉදිරිපත් කිරීමට සිදුවීම හැරුණු කොට වෙනත් කටයුත්තක් එම ආයතනය සමග නැති බවත් තම සරල ජීවිතය තුළ තම අභිමතය පරිදි යූටියුබ් සම්මුඛ සාකච්ඡා සඳහා ඉතිරි කාලය යොදවා ඇති බවත් පෙන්වා දෙයි.

පියුමි හංසමාලිගේ චෝදනා සියල්ල තමා ආසාවෙන් නැවත නැවත නරඹන බවත් ඇය කියූ වචන වලින් තමා වඩාත් එකඟවන්නේ තමා නාටාමියෙකු යයි කීම ගැන බවත් මන්ද තමා ජනතා පීඩනය දරාගෙන ජනතාව වෙනුවෙන් මුට්ට කරගසන බව ඇයට තිබෙන අවබෝධය අගය කරන බවත් කියා සිටියේය.පියුමිගේ සියලු කතා අසා තම බිරිය විමසූ එකම කාරණය ස්ක්‍රීන් ෂොට් කතාව යයිද චමුදිත කීය.
තමා පියුමි හංසමාලි ඇස් දෙකින් දැක නැති බවත්, කතා කර නැති බවත් දුරකථන අංකයක් හෝ දන්නේ නැති බවත් කියන චමුදිත තමා සමග ඇය චැට් කළ ස්ක්‍රීන් ෂොට් ඇතැයිද එම චැට් එකේ වැරදුණ යෝජනාවක් නිසා මෙලෙස පලි ගත්තේය  කියන කතාව ගැන මවිතය පළ කරන බවත් දන්වා සිටියේය.  හැකිනම් නිරෝධායනයෙන් පසු පැමිණ ඒවා ප්‍රසිද්ධ කරන ලෙසද අභියෝග කළේය.



සලකුණ සම්මුඛ සාකච්ඡාවේදී අජිත් රෝහණ මහතා අසරණ කළා යන චෝදනාව එක එක අය බලන කෝණයෙන් විග්‍රහ වී ඇති බවත් ඒ කතාකරන ශෛලිය තමාට අවේනික බවත් පෙන්වාදෙන චමුදිත එම අවස්ථාවේ තමා ප්‍රශ්න කළේ සත්‍යය හා සාධාරණත්වය වෙනුවෙන් බවත් කියා සිටියේය.
සාදය පැවති දින රාත්‍රියේ සියල්ලන් ඇල්ලුවත් එදින රෑම නිදහස් කර හරින්නට කොටුව පොලිසිය ක්‍රියා කළඅයුරු දන්වා සිටියේය. මෙම ප්‍රශ්නෙට ජනපතිවරයාට පවා මැදිහත්වීමට සිදුව ඇති බව කියා සිටි ඔහු පසුව පරීක්ෂණ වෙනත් අංශයකට භාරදුන් බවද කීය. මෙම සාදයේ සීසීටීවී දර්ශන වලින් අවශ්‍ය කොටස් පමණක් ප්‍රසිද්ධ කර ඇති බවද කීය.

‘අජිත් රෝහණ ටයි දේශබන්දු තෙන්නකෝන්ටයි තියෙන්නෙ පොලිස්පති වෙන්න තරගයක්...සීඩී වික්‍රමරත්න පොලිස්පති තුමා හිතපු තරම් කෙනෙකු නොවන බව පේනවා‘ චමුදිත අදහස් දක්වමින් පැවසුවේය.
මේ අතර වැඩසටහන අවසන් භාගයේ තමාට ජීවිත තර්ජනයක් ඇති බව කියා සිටි චමුදිත තමාගේ අත් පා වෙන් කර රැගෙන යාමට යතුරු පැදියක් එවන බවට පොළොන්නරුවේ කෙනෙකු තර්ජනය කළ බව දන්වා සිටියේය. මෙම තර්ජනය ගැන හා අදාළ සියලු සාක්ෂි රහස් තැනක සටහන් කර ඇති බවත් එක් අයෙකුට ඒවා දන්වා ඇති බවත් කියන චමුදිත තමා මරාදමුවොත් ඒ සියල්ල හෙළි වනු ඇතැයි කියා සිටියේය.

කෙසේ වෙතත් මේ ගැන පොලිසියට ගොස් පැමිණිලි කිරීමට පොලිසිය ගැන විශ්වාසයක් නැති බවද ඔහු පැවසීය. තම ජීවිතයට යමක් වෙතොත් බේරාදෙන්නට දැනට සිටින ප්‍රබලයින් ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස නොකරන බවද කීය.