yatiyanthota-rain

 අධික වර්ෂාවත් සමඟ අකුණු සැර වැදීමෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස වීසි දෙකකට පෙරේදා (12 වැනිදා) හානි සිදුවී එක් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි යටියන්තොට ආපදා කළමනාකරණ ඒකකය පවසයි.   මෙසේ තුවාල ලබා තැලිගම රෝහලට ඇතුළත් කර ඇත්තේ කිතුල්ගල කිරිකොහුතැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. කාන්තාව නිවසේ සිටියදී අකුණු සැර වැදී ඇති අතර පසුව වමනය හා ක්ලාන්ත ගතිය හේතුවෙන් රෝහල් ගත කර ඇත.



අකුණු සැර වැදීම හේතුවෙන් කිරින්කොහුතැන්න ප්‍රදේශයේ නිවාස විස්සකට ද මල්වත්ත  වසමේ නිවසකටද සීපොත් ප්‍රදේශයේ එක් නිවසකද හානි සිදුවී ඇත. මේ නිසා එම නිවාසවල විදුලි පරිපථවලට හා විදුලි උපකරණවලට හානි සිදුවී ඇති අතර අකුණු සැර වැදීම හේතුවෙන් කිතුල්ගල කිරිකොහුතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු පසු ගිය වසරේ මිය ගොස් ඇති බවද ජනතාව පවසති. යටියන්තොට ආපදා නිලධාරි එන්.කේ. රොහාන් පියදාස මහතා මේ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.


අකුණු වැදීම හේතුවෙන් හානියට පත් නිවාස මේ වන විට පරික්ෂා කරමින් පවතින අතර හානියට පත් සියලුම නිවාසවලට රජය මගින් වන්දි මුදල් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. එසේම මේ සතිය තුළ එම නිවාස සඳහා රුපියල් දස දහසක අත්තිකාරම් මුදල් ලබා දීමට නියමිතව තිබෙනවා. එසේම යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මියගේ උපදෙස් මත මෙම ප්‍රදේශයේ අකුණු සැර වැදීමේ අවදානම් කලාප සඳහා අකුණු සන්නායක පද්ධතියක් ලබා ගැනීම වෙනුවෙන් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කරනවා යැයිද කීය.