විදුලිසැර වැදී සිටි පුතාගේ ජීවිතය බේරා ගැනීමට ගිය පියා විදුලි සැර වැදී මියයාමේ පුවතක් බකමුණ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.  විදුලි සැර වැදුණු පුතා බේරා ගැනීමට පියාට හැකි වී ඇති බව ද බකමූණ පොලිසිය කියයි.  

  පියාට සහ පුතාට විදුලි සැර වැදී ඇත්තේ තම ගෙවත්ත වල් අලින්ගෙන් බේරා ගැනීමට පොලිස් කොස්තාපල්වරයෙක් ඇද තිබූ බව කියන විදුලි රැහැනක පැටලී බව ද පරික්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.



අපරික්ෂාකාරි ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම පොලිස්  කොස්තාපල් අත්අඩංගුවට ගත් බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය. මිරිහාන මුලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන මෙම කොස්තාපල්වරයා බකමුණ ඇලහැර, කරඳගොල්ලේ පදිංචිකරුවෙක් බව ද සඳහන් වේ.සැකකාර පොලිස් කොස්තාපල්ට අයත්  කරඳගොල්ලේ පිහිටි ඉඩමේ කොටසක  පුෂ්පකුමාර නමැත්තා එළවළු වගාවක් කරගෙන යන බවත් ඔහු තම බිරිඳ හා 17 හැවිරිදි පුත්‍රයාද සමඟ මෙම එළවළු කොටුවට 05 දා ගිය අවස්ථාවේදී විදුලි රැහැන් ඇද තිබූ වැටෙන් පැනීමට ගිය පුතාට විදුලි සැර වැදී ඇති බව ද  පොලිසිය කියයි.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-