saman-lal-fernando-updates

කොරෝනා එන්නත්කරණය දේශපාලනීකරණය කරන්නට උත්සාහ ගැනීම නිසා අද දින පොලිස් අත්අඩංගුවට පත්ව සති දෙකක් රිමාන්ඩ් කරන ලද මොරටුවේ පුරපති සමන් ලාල් ප්‍රනාන්දු පිළිබඳ විවිධ ආරංචි කිහිපයක් ලැබී තිබේ.



හිටපු ශ්‍රීලනිප ප්‍රබලයෙකුවූ ජීවන් කුමාරතුංගගේ සමීප ගෝලයෙකුවූ ඔහු කලෙකට ඉහත ත්‍රීවීල් රථ රියදුරෙකු වූ බවද පැවසේ. මොරටුවේ ධීවර ප්‍රජාව, ලී කර්මාන්ත කරුවන්ගේ ප්‍රජාව අතරින් මතුව ආ නායකයෙකු බව පැවසෙන අතර ඔහුගේ කථා විලාසය හා හැසිරීම් එම ප්‍රජාවටම ආවේණික ස්වරූපයක් ගෙන ඇති බවද පැවසිණි.
මෙම නගරාධිපතිවරයා මීට ඉහත අවස්ථා කිහිපයකදීම රටේ ප්‍රවෘත්ති වලට මාතෘකා සපයා තිබේ. අනවසර ඉදිකිරීම් ඉවත් කරන මුවාවෙන් දේශපාලන විරුද්ධවාදීන්ගේ දේපළ ඉවත්කිරීමකට ඔහු දායකවූ අවස්ථා දෙකක් වාර්තා කර තිබෙනු යූටියුබ් තුළ හදුනාගන්නට ලැබේ.
එසේම මීට කලෙකට ඉහත මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ විදුහල්පතිට එරෙහි උද්ඝෝෂණ පවත්වා එම විදුහල්පති එළවා දැමූ සිදුවීමක් වාර්තාවූ අතර එයට නායකත්වය දුන්නේද සමන් ලාල්ය.

ඊයේ සමාජ මාධ්‍ය අවුළවමින් රටම කතා කළ සිදුවීමක් වූයේ සමන් ලාල් මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සමග ඇති කරගත් බහින්බස් වීම හා ඇයගේ රාජකාරියට බාධා කළ නොමනා ආකාරයයි.
මේ ගැන අද දින කොවිඩ් මර්දන කාර්ය සාධක රැස්වීමේදී ජනපතිගේ අවධානය යොමුවූ බවටද වාර්තා පවතී.
 ‘අපි තැන් තොරා ගත්තේ විද්‍යානුකූලව. එහෙම කරලත් ඊයේ මොරටුවේ කැත දර්ශනයක් සිදුවෙලා තියෙනවා. ඒවා වෙන්න දෙන්න එපා.ඒක අහඹු සිද්ධියක් බව දන්නවා. එහෙම වෙන්න දෙන්න එපා. හැමතැනම හොඳට
වුණා. එක තැනක මෙහෙම වුණාම මාධ්‍යයෙයි හැම තැනම යන්නේ ඒක.‘ ජනපති කියා තිබේ.

මෙම සිදුවීම ඊයේ වාර්තාවීමෙන් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමිය පොලිසියට පැමිණිලි කර නොතිබූ නමුත් රාත්‍රී කාලයේ පොලිසිය ඇයට කතා කර මොරටුමුල්ල පොලිසියට ගෙන්වාගෙන පැමිණිල්ලක් ලියවාගෙන ඇතැයි වාර්තා විය.



සන්ධ්‍යා කාලයේ සිදුවීමේ වීඩියෝ දර්ශන රූපවාහිනී නාලිකාවල විකාශය වූ අතර එයටම ඇමිණුමක් ලෙස ‘මං විතරක් නෙමේ ජොන්ස්ටන් ඇමතිත් කුරුණෑගල ටෝකන් බෙදුවා‘ යයි නගරාධිපතිවරයා කියන විශේෂ ප්‍රකාශයක්ද විකාශය විය.
මෙම දර්ශන විකාශයවීමෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයද ඇවිළිණි.
රාත්‍රී කාලයේ වෛද්‍ය නිලධාරී තුමියට කැඳවීම ලැබී ඇත්තේ පොලිස් මූලස්ථානයෙන් බවද පැවසේ. එම අවස්ථාවේ පොලිසියේ ඉල්ලීමට එකඟවී ඇය තමන්ට රාජකාරියට බාධා කළ ආකාරය ගැන පැමිණිල්ල සිදු කර තිබේ.

මේ අතරවාරයේ සමන් ලාල් ප්‍රනාන්දු ඊට පසුදින එනම් සිකුරාදා උදෑසන අත්අඩංගුවට ගන්නා බවට ඔහුට රාත්‍රියේ දැනගන්නට ලැබී ඇති අතර ඔහුගේ මුල් සැලසුම වී ඇත්තේ අසනීපයක් මවා පෑමය. ඒ සඳහා ඔහු නගර සභාව මාර්ගයෙන් ගිලන් රථයක් ගෙන්වාගෙන පළාගිය බව පැවසේ. නමුත් කිසියම් හෙළි නොවූ සාකච්ඡාවකින් පසු ඔහුට නීතීඥයින් සමග විත් පොලිසියට භාර වෙන ලෙස උපදෙස් ලැබී ඇත.

ඒ අනුව ඔහු උදෑසන ගල්කිස්ස පොලිසියට පැමණ භාර වූ අතර සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට උසාවිය කටයුතු කරන ලදි.
කෙසේ වෙතත් නගරාධිපති සමන් ලාල් හා මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය අතර විරසකය කලක සිටම පැවතිණි.
නගරාධිපති ටෝකන් ක්‍රමයකට එන්නත් ගසන්න යයි මුලින් අණකර තිබුනේ මීට සති කිහිපයකට පෙර මොරටුවේ එන්නත් කරන වැඩසටහනක් යන අතරතුරය. එම අවස්ථාවේදිත් විරෝධයක් මතුවිය. විවේචනයට ලක්වූ එම සිද්ධිය ඇතැම් මාධ්‍ය වලටද යොමු විය. වෙබ් අඩවි වලද එම තුණ්ඩු කැබලිවල ඡායාරූප ප්‍රසිද්ධ විය.

පසුගිය 28 වැනිදා අවසන් වරට පැවති මොරටුවේ නගර සභා රැස්වීමේදී නගරාධිපතිවරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය විවේචනය කර තිබුණි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය නිසි අයුරින් ලබා නොදීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි ඔහු පැවසුවේය.
නගරාධිපතිවරයා 28 වැනිදා මෙසේ කීවේය.

‘‘පළමු වතාවට කොරෝනා වසංගතය ඉස්මතු වූ අවස්ථාවේ මොරටුව මහ නගර සභාව ඉතාම සාර්ථකව ඊට මුහුණ දුන්නා. ඊට ජනාධිපතිවරයා ද සහාය දැක්වූවා. ඒ අවස්ථාවේ මොරටුවේ එකම ආසාදිතයෙක්වත් හිටියේ නෑ.



මාර්තු මස 20 නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව මහ නගර සභාවක නගරාධිපති හෝ ප්‍රාදේශීය සභාවක සභාපති ඒ සීමාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හෝ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විය යුතු බව සඳහන්ව තිබෙනවා.නගර සභා ආඥා පනත අනුව පැහැදිලිවම ඒ වගකීම දැරිය යුතුයි.

මේ සියලුදේ නිසි ලෙස කළ හැකි වන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ නිලධාරිනිය පළාත් පාලන ආයතන සමග කරන ගනුදෙනුව යහපත්ව සහ සුහඳව සිදු කිරීමෙන් පමණයි.

සමස්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරුන් අපි දකින්නේ දෙවිවරු ලෙසයි. ඒ දෙවිවරු අපිට පිහිට වෙන්න ඕනෑ. ඒ අය පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග එකතු වී වැඩ කළ යුතුයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමිය නිසි අයුරින් සහාය ලබා නොදීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. අප දෙන අණ ඇය පිළිපදින්නෙ නැහැ. ඇය අපට සහාය විය යුතුයි. ඒ සඳහා තොරතුරු ලබාදී සහාය දක්වන මෙන් ඉල්ලා සිටිනවා.’’