ranil-speaks

කොරෝනා වසංගත තත්ත්වය අතිශය උග්‍ර වී තිබෙන මේ අවස්ථාවේ කළ යුතු වන්නේ එන්නත් සෙවීම සඳහා අධික කාලයක් වැය කිරීම නොව රෝග ව්‍යාපෘතිය පාලනයට හැකි සෑම පියවරක් ගැනීම යයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය. කොරෝනා වසංගතය පැතිරීම නතර කර ගැනීම සඳහා එංගලන්තය මාසයක් වසා තිබූ බව සිහිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතා වයිරසය ශරීරගත වී තව කෙනකුට බෝවිය හැකි සති දෙකක් හෝ තුනක හෝ කාල සීමාව වත් අඩුම තරමින් රට වැසීමට ක්‍රියාකළ යුතුව ඇතැයිද කියා සිටියේය. ආර්ථිකය කඩා වැටෙනවා යයි කියමින් රට නොවසා සිටීමෙන් පළක් නොවන බවද දැනටමත් ලංකාවේ ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්ව ඇති බවද කියූ රනිල්ට වික්‍රමසිංහ මහතා දැන් රජය බැලිය යුත්තේ  රුපියල් ශත ද නැතිනම් මිනිස් ජීවිත දැයි කියා තීරණය කළ යුතුයයිද සඳහන් කළේය.


හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග සුම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය. දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විස්තර කළේය. රට වසා දැමූයේ වුවමනා නැති කාලයේ දී බැවින් රට වසන්න අවශ්‍ය කාලයේදී විවෘත කරගෙන සිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් අත්වන්නේ නැතැයිද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය. අමෙරිකානු ඩොලරය රුපියල් දෙසීයට ගියේ කොරෝනා වසංගතය නිසා නොවන බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා පළමුව වසංගතයේ පැතිරීම කෙසේ හෝ නතර කරගත යුතුව ඇතැයි ද කියා සිටියේය.  මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය..




කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යන විට කළ යුත්තේ ආසාදිතයන් අඩු කර ගැනීමට පියවර ගැනීමයි. එන්නත් සෙවීමට කාලය නාස්ති කර දැන් පළක් නැහැ. වහ වහා කළ යුත්තේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමයි.වසංගතයේ පැතිරයාම නවතා ගැනීමට නම් අඩුම තරමින් සති දෙකක්වත් රට වසා තැබිය යුතුයි. එලෙස රට වසා තබන කාලය අතරතුර සෞඛ්‍ය අංශ උපදෙස් අනුව එක් දිනක් රට විවෘත කිරීමේ වරදක් නැහැ. එංගලන්තය වසංගතය පැතිරීම නවතා ගත්තේ එක දිගටම රට මාසයක් වසා තැබීමෙනුයි.


වෙරසය තව කෙනෙකුට බෝ වීමට ගතවන සති දෙකක් හෝ තුනක හෝ කාලය සැලකිල්ලට ගෙන රට වසා තබන කාලය තීරණය කළ හැකියි. රට වසා තැබුවා යැයිකියා ආර්ථිකයේ අමුතුවෙන් කඩා වැටෙන්න දෙයක් නැහැ. අද ලංකාව ආර්ථිකය කොහොමත් කඩා වැටිල ඉවරයි. මා එදා ප්‍රකාශ කළ ආකාරයට ජනවාරි පෙබරවාරි මාසවල එන්නත් ඇණවුම් කළා නම් මේ වනවිට ඒවා විද අවසන් කරන්න තිබුණා. ඇමරිකාව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන හැටක් අනෙක් රටවල්වලට දී තිබෙනවා.මොඩර්නා සහ ෆයිසර් එන්නත් මිලියන විස්සක් ද මෙලෙස ලබාදීලා. ඇමෙරිකාව සියලු එන්නත් දුන්නේ නොමිලේයි. චීනය එන්නත් මිලියන 250 ක් එක්කෝ පරිත්‍යාග කළා.

නැතිනම් අළෙවි කළා. චීනයේ එන්ත්න නිෂ්පාදනය කෝටි 65 ක් වනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පර්යේෂණාගාරයේ හලාල් සහතිකය සහිතව එන්නත් නිෂ්පාදනය කරනවා.


මියන්මාරය සහ බංග්ලාදේශය යන රටවල් කළින්ම එන්නත ඇණවුම් කළ නිසා ඒවාට එන්නත් තොග ලැබුණා. වැඩ පිළිවෙලක් නැති රජයට එන්නත් ටිකවත් නිසි වෙලාවට ඇණවුම් කරන්න බැරි වුණා. ආර්ථිකයට පහර වැදිම රටවල් ගණනාවකට සිදුවී තිබෙනවා. මේ අවස්ථාවේ කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අයි.එම්.එෆ්. සමග එක්ව වැඩ කිරීමයි. රාජපක්ෂ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකාවිදැයි කියා නම් මට කියන්න බැහැ.  මෙරට එන්නත දීමට නියමිත ජනගහනයට එන්නත දෙන වැය වන්නේ ඩොලර් මිලියන  200 යි. ඒ මුදල සොයා ගැනීම රජයේ වගකීම  යයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


- අංජුල මහික-