prashastha-kavishayad-perera

හොඳම දේ දරුවන්ට බව ප්‍රකට කියමනකි. ඒ හොඳම දේ තුළින් උකහා ගන්නා දෙයින් පෝෂණය වන දරුවන් රටේ අනාගතය නිර්මාණය කරන බවට සාධක දෑස් හමුවේ පෙනෙන්නට තිබීම සතුටකි.˙සිරස ලක්ෂපති˙ වැඩසටහනට තරග කොට රුපියල් මිලියනක් දිනූ කොළඹ ආනන්ද විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි නවම් ප්‍රශස්ත කවිශ්‍යාද් පෙරේරා රටේ අනාගත පරපුර ගැන සුබ නිමිති දල්වන පහන් සිලක් වැනිය.
 
ප්‍රශස්ත කවිශ්‍යාද් මේ දක්වා සිරස ලක්ෂපති තරගයෙන් ජයගත් ළාබාලයා වන අතර ඔහු පිළිබඳ ප්‍රේක්ෂක අවධානය වැඩිපුර යොමු වූයේ ප්‍රශස්ත රුපියල් මිලියනයක් දිනාගත් නිසාම පමණක් නොවේ. වැඩසටහන පුරාවටම ප්‍රශස්ත කවිශ්‍යාද් දරුවා පෙන්වූ දැනුම් සම්භාරය, චතුර කථිකත්වය පමණක් නොව ඔහුගේ ප්‍රියමනාප බව ද මනාව කැපී පෙනුණි. ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී ඔහු පෙන්වූ බුහුටිකම ඉතා ආකර්ෂණීය විය. එපමණක් නොව ඔහුගේ කුඩා හදවතින් ගලා ආ ආකල්ප, සිතුම්පැතුම් තුළ අපූර්වතම චමත්කාරයකි. විටෙක ඒ සිතිවිලි තෙතමනයක් නැති වැඩිහිටි හිත්වලට ආදර්ශයකි.

”මම හරිම ආසයි නිදහසට. කුරුල්ලෙක් වගේ පියාඹන්න. ලෝකයේ කවුරුත්ම දැකපු නැති දේවල් දකින්න. සොබාදහමත් එක්ක කතා කරන්න.”


වරක් ප්‍රශස්ත එසේ කීවේය. වාග් චාතූර්යයෙන් මෙන්ම ආකර්ෂණීය සුන්දර සිනාවකින් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත් ඒ මුවට වදන් ගලා එන අපූරුව ඇතැම් විට සිතට ගෙන ආවේ විස්මයකි. ගහට කොළට, ඇළට දොළට මෙන්ම සතා සිවුපාවා ඇතුළු පරිසරයට බොහෝ පෙම් බඳින ඒ පුංචි හදවතේ පරිසරය ගැන ඇත්තේ දැඩි විශ්වාසයකි. “අපි පරිසරයට හානි නොකර හිටියොත් අපිටත් හොඳින් ජීවත් වෙන්න පුළුවන්” යැයි පුංචිකමට ඔහු කියන සත්‍ය බොහෝ වැඩිහිටි හිත්වලට නොවැටහීම අවාසනාවකි.



“මනුස්සයකුට වැඩිය සතකුට තේරෙනවා. සත්තුන්ට කතා කරන්න බැරිවුණාට අපිත් එක්ක හැඟීම් හුවමාරු කරගන්නවා. මම දඟ වැඩක් කරලා ගුටියක් එහෙම කාලා කාමරේට වෙලා දුකෙන් ඉන්න වෙලාවට අපේ පූසා, බ්ලැක් ඇවිත් මං දිහා බලාගෙන ඉන්නවා. දිගටම බලාගෙනම ඉන්නවා. මගේ දුක ඉවර වෙනකම්ම බලාගෙන ඉඳලා තමයි එයා යන්නෙ. ඒ වගේ වෙලාවට අපිට එයාගෙන් හරි සතුටු වෙන්න පුළුවන්; අපේ දුක කවුරුහරි තේරුම් ගත්තා කියලා.”

මිනිසුන්ට මෙන්ම සතාසිවුපාවා ඇසුරෙන් පවා ආදරය, කරුණාව අත් විඳින සංවේදී හදවතක් සහිත දරුවකු වන ප්‍රශස්තගේ හුරුබුහුටි කතාව විටෙක දෑස්වලට ගෙන ආවේ සතුටු කඳුළු ය. සිරස ලක්ෂපතියෙන් මිලියනයක් දිනූ ප්‍රශස්ත පුතු සිය දක්ෂතාව විදහා පෑ පළමු අවස්ථාව මෙය නොවේ. සිරස එෆ්. එම් සමනල සිරස‘ 2018 පුංචි ප්‍රාඥයා’ වැඩසටහනේ පළමු අදියරේ අවසන් තරගයෙන්ද ඔහු ජය ගත්තේය. සිරස ලක්ෂපති වැඩසටහනෙන් ඔහු රුපියල් මිලියනයක් දිනාගනිද්දී ප්‍රේක්ෂකයන්ට ද ඒ පුංචි හදවතේ සතුට දැනුණි. වැඩසටහන ඉදිරිපත් කළ ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර පවා ඒ ජයග්‍රහණය හමුවේ වඩාත් සංවේදී විය.

“ප්‍රශස්ත පුතාට හීන දකින්න, පියාඹන්න, අලුත් දේවල් හොයාගන්න, යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ” කියා ඔහු ප්‍රාර්ථනා කළේ සතුටු කඳුළක් දෑසේ රඳවාගෙනය.

බෙල්ලන්විල පදිංචි ප්‍රශස්ත පුතුගේ පියා එම්. ඒ. ඩැනිස්ටර්. පෙරේරා පෞද්ගලික අංශයේ රැකියාවක නිරතව සිටී. ඔහුගේ මව නිමාලි දිනූෂා ඇන්තනී ගෘහණියකි. ප්‍රශස්තගේ එකම සොයුරිය තස්වි කවිශ්‍යාදි 17 හැවිරිදිය. ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ සිසුවියක වන ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියාය. ප්‍රශස්ත පුතු පළමු වසරේ සිට 5 වැනි වසර දක්වා අධ්‍යාපන ලබා ඇත්තේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේය. ඔහු කොළඹ ආනන්ද විදුහලට ඇතුළුවීමට වරම් ලැබුවේ පහේ හපනෙක් ලෙස ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185ක් ලබාගෙන ය. පවුලේ ම ජයග්‍රහණයක් බඳු ප්‍රශස්තගේ ජයග්‍රහණය ගැන ඔහුගේ පියා කතා කළේ නිහතමානී ආඩම්බරයකිනි.

“ ඒ ගැන ගොඩක් සතුටුයි; හිතුවේ නැහැ පුතා මෙච්චර දුරක් එයි කියලා. පුතාට මුලින්ම පළමු වසරට ඇතුළත් වෙන්න පාසලක් ලැබුණෙ නැහැ. ඒ දවස්වල මමත් රැකියාව කළේ පිටරට. පුතාට පාසලක් නැතිව මාස 6ක්ම ගෙදර ඉන්න වුණා. පුංචි කාලේ ඉඳලම පුතා ඉගෙන ගන්න දක්ෂකම් පෙන්නුවා. ඒ වගේම කියවන්න පුදුම ආසාවක් තියෙන්නේ. සමහර වෙලාවට බාත්රූම් යන්නෙත් කියවන්න පොතක් අරගෙන. සමහර වෙලාවට අම්මා බණිනවා. ඒ වගේ වෙලාවක පුතා හංඟ ගෙන පොතක් අරගෙන ගිහින් කියවනවා. දවසක් එහෙම කියව කියව හිටපු පොත ඇඳුම් එක්ක බේසමට වැටිලා. පුතාගේ අම්මා දන්නෙ නැතුව ඒක වොෂින් මැෂින් එකට දාලා ඒ පොත ආයේ කියවන්න බැරි තරමට විනාශ වෙලා තිබුණා. එයා ඒ ගැන දුකෙන් හිටියෙ. ඒ පොත තමයි එදා චන්දන මහත්තයා පුතාට තෑගි කළේ. ඒ ගැනත් පුතාට පුදුමාකාර සතුටක් තියෙන්නෙ. ඒ වගේම ගමනක් ගියත් ඒ හැම තැනින්ම කරුණු එකතු කරන එක පුතාගේ විනෝදාංශයක්. ”

කියවන්න කැමති, දැනුම් පිපාසිත ප්‍රශස්තට සිරස ලක්ෂපතියේ දොරඟුළු විවර වූ අයුරු ගැන ද ඔහු කීවේය.

“පුතාගේ සීයා (අම්මගේ තාත්තා) ගාමිණි ඇන්තනී (75) තමයි පුතාව මේ වැඩසටහනට ඉදිරිපත් කරන්න කියලා කිව්වේ. ඒ වෙලාවේ පුතා බෑ කිව්වා ටීවී එකට ගිහින් උත්තර දෙන්න බැහැ කියලා. පුතා වැඩසටහනට මුහුණ දුන්න විදිහ ගැන වෙලාවකට මටත් පුදුම හිතුණා. පුතා දන්න සමහර දේවල් මමවත් දන්නෙ නැහැනේ කියලා මට හිතුණා.”


“දුවයි පුතයි අතර වයස් පරතරය අවුරුදු හතරයි. පුතා ලැබෙන්න ඉන්නකොට ස්කෑන් එකෙන් අපි දැනගත්තා පුතෙක් තමයි ලැබෙන්නෙ කියලා. පුතා ඉපදුණේ 2008 පෙබරවාරි (නවම්) මාසේ 16 වැනිදා. උපන් නැකත අනුව ලැබුණු අකුරුවලට පුතාට නවම් ප්‍රශස්ත කවිශ්‍යාද් කියලා නම තිබ්බේ මමයි මහත්තයයි. පුංචි කාලේ ඉඳලම පුතා කාටවත් කරදරයක් නැති එයාගේ පාඩුවේ ඉන්න දරුවෙක්. පොඩිකාලේ ඉඳලම පොත්වලට එයාගේ තියෙන්නෙ පුදුම කැමැත්තක්. බස් එකකට පොත් අරගෙන වෙළෙන්ඳෙක් නැග්ගොත් පොතක් අරගෙන නොදී ඉන්න බැහැ. සෙල්ලම් වාහනවලට ආස වුණත් පුංචි කාලේ පුතා ආසාවෙන් බදාගෙන හිටියේ පොත් මිසක් සෙල්ලම් බඩු නෙවෙයි. මට මතකයි යන්තම් තේරෙන වයසෙදි මම මුලින්ම පුතාට ගෙනත් දුන්නේ පින්තූර පොතක්. එයා හරි ආසාවෙන් ඒ පින්තූර,අකුරු දිහා බලාගෙන ඉන්නවා. පුතා හොඳට ඉගෙන ගනී කියලා දැනුණු නිසාම මම පුතාව හොඳ ළඳරු පාසලකට දැම්මා. කේම්බ්‍රිජ් කියන ඒ ජාත්‍යන්තර මට්ටමේ ළදරු පාසලේදී පුතාගේ මුල්ම ගුරුවරිය වූ පත්මිණි ටීචර් නිසා තමයි පුතා ආශාවෙන් අකුරු ලියන්න පුරුදු වුණේ. මුල් දවස්වල පුතා මොන්ටිසෝරි ගියේ යන්න බෑ කිය කියා අඬ අඬා. පස්සේ ටීචර්ගේ අවධානය ගන්න පුංචි පුංචි දඟ වැඩ කරලා ටීචගෙන් පුංචි දඬුවම් එහෙමත් ලැබුවා. ඒත් පත්මිණි ටීචර් තමයි මුලින්ම පුතාගේ දක්ෂකම් හොඳින්ම අඳුන ගත්තේ. පුතාට හොඳ මතකයක් තියෙනවා. පුංචි කාලේ මම එයාට කියපු දේවල් තාමත් ඒ විදිහටම මතකයි. පුතා ලැබෙන්න ඉන්නකොට අපි හිටියේ කුරුණෑගල රිදී විහාරය කිට්ටුව. ඒක හරි ලස්සන ගමක්. ඒ විස්තර පුතාට කිව්වහම පුතා කිව්වා එයා ලොකුවෙලා වාහනයක් අරගෙන කුරුණෑගල අපි හිටපු ඒ ගෙදර, ගම බලන්න යනවලු. ගමේ පරිසරයට පුතා හරිම ආදරෙයි.අපේ ගේ පිටිපස්සේ තියෙන මී ගහේ වටිනාකම ගැන එයා හරි ආදරෙන් කතා කරන්නෙ.“



ප්‍රශස්ත පුතුට ඉගෙනීමේ කටයුතු සහ බාහිර කටයුතු සමබරව කරගෙන යෑම සඳහා නිවෙසින් ලැබෙන ඉඩහසර ගැනත් අප ඇයගෙන් විමසුවෙමු.

‘‘පුතාට අපි නීතිරීති දාලා නැහැ. පාඩම් වැඩ කළාට පස්සේ ටිකක් සෙල්ලම් කරනවා. ටී.වී එකේ යන කාටුන් දෙකක් විතර බලනවා. අපේ ගෙදර ටීවී එකේ යන නාට්‍ය නම් බලන්නෙම නැති තරම්. තෝරාගත් වැඩසටහන් විතරයි පුතාට බලන්න දෙන්නෙ. පුතා බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ දහම් පාසලෙන් දහම් අධ්‍යාපනයත් ලබනවා. පුතා කියවන්න කොයිතරම් උනන්දුයි ද කියනවා නම් කියවන්න එයාට පොතක් නැත්තම් එයාම කතාවක් ලියාගෙන හරි කියවනවා. ලක්ෂපති වැඩසටහන ගෙදර ඉඳන් බලනකොට පුතා ගොඩක් වෙලාවට ඒ හැම ප්‍රශ්නෙකටම හරියට උත්තර දෙනවා. අපි ඉතින් පුතාට විහිළු කරනවා මෙතන ඉඳන් කියන්නෙ නැතුව වැඩසටහනට යන්න කියලා. ඒත් පුතාට ටීවී එකට යන්න ආසාවක් තිබුණේ නැහැ. මගේ තාත්තගේ ආසාව නිසාම තමයි ගියේ. හැබැයි මට නම් හිතුණා පුතා දක්ෂ නිසා එයාට මිලියන දෙකම දිනාගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ ලැබූ ජයග්‍රහණයත් අපිට ගොඩාක් වටිනවා.˝ ප්‍රශස්ත පුතු වැඩසටහන පුරාවට දැක්වූ චතුර බව පෙර පුහුණුවක ප්‍රතිඵලයක් දැයි ඇසූ පැනයට ප්‍රශස්තගේ මව පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.

‘‘එහෙම කිසිම පුහුණුවක් ලැබුවේ නැහැ. ලක්ෂපති ටීම් එකේ ළමයි පුතාට කිව්වා පුතාට කිව්වා පුතා බය නැතුව චන්දන සර් එක්ක කතා කරන්න. පුතා දන්න දෙයක් තියෙනවා නම් සර් ටත් කියලා දෙන්න කියලා. ඒ කතාවට පුතාට ගොඩක් සතුටු හිතුණා. පුතා පුංචි කාලේ ඉඳලා උගන්වන්න හරි දක්ෂයි. ශිෂ්‍යත්ව පන්ති යනකොට ටීචට හරි සර් ට වැරදීමක් වුණොත් පුතා ඒක කියනවා. ළඟදිත් එක මිස් කෙනෙක් කිව්වා ප්‍රශස්ත ඉතින් අපිටත් ඉගැන්නුවානේ කියලා. පුතා 5 වසරේ ඉන්නකොට ශිෂ්‍යත්ව පන්තියේ සර් පුතාට පන්තිය බාරදීලා ගිහින් සර් ආපහු එනකොට ළමයින්ගේ කිසිම සද්දයක් නැහැලු. බලනකොට පුතා ළමයින්ගෙන් ප්‍රශ්න අහනවලු.දෙන උත්තරවලට බෝඩ් එකේ ලකුණු දානවලු. පුතා මිලියනය දිනුවට පස්සේ සර් කතා කළා. සර් ට හරිම සතුටුයි. පුතාගේ දක්ෂකම සර් ත් මුල ඉඳලම අඳුන ගෙන හිටියා. මේ දක්වා පුතාට ඉගැන්වූ හැම ගුරුතුමෙක්ම ගුරුතුමියකගේම ආදරය දිනාගන්න පුතා වාසනාවන්ත වුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.˝

ඇය පුතු නිසා නිම්හිම් නැති සතුටක් විඳිද්දී අප ඇගෙන් විමසුවේ දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් මවුපියන්ට පැවරෙන වගකීම ගැනය.

‘‘දෙමවුපියෝ නිතරම දරුවාගේ පස්සෙන්ම ඉන්නවා නම් ‍හොඳ දරුවෙක් හදාගන්න පුළුවන්. ඒ වගේම දරුවට නිදහස දුන්නට දරුවා කරන්නෙ මොනවද කියන එක ගැන නිතරම විමසිල්ලෙන් ඉන්න ඕන. පවුලක් විදිහට අපි හතරදෙනා නිතරම එකටමයි ඉන්නෙ. මම හිතන්නේ දරුවාගේ දියුණුවට ඒකත් හේතුවක්˝

ඊළඟට අපේ කතාබහට එක්කර ගත්තේ රටටම කතා කරන ප්‍රශස්ත පුතු යි. ජයග්‍රහණයේ සතුට ගැන විමසද්දී ඒ මුවේ ඇඳුණේ සුරතල් සිනාවකි.

‘‘ගොඩාක් , ගොඩාක් සතුටුයි. මෙච්චර දුරක් එන්න පුළුවන් වෙයි කියලා නම් හිතුවේ නැහැ. හොට් සීට් එකට ආවට පස්සේ ටිකක් බයත් හිතුණා. කතාකරගෙන යද්දි බය නැතිවෙලා හොඳට කතා කරගෙන යන්න පුළුවන් වුණා. චන්දන සර් ආදරෙන් කතා කරද්දි බය නැතිවෙලාම ගියා. ˝

ජයග්‍රහණය ගැන බොහෝ දෙනකුට ස්තුති කරන්නට ද ඔහු අමතක කළේ නැත.

‘‘අම්මා, තාත්තා, සීයා, ආච්චි, අක්කාට ගොඩක් ස්තුති කරනවා. අක්කා මට අලුත් දේවල් හොයාගන්න ගොඩක් උදවු කරනවා. කියවන්න පොත් හොයලා දෙනවා. මොන්ටිසෝරියේ ඉඳන් මේ දක්වා මට උගන්වපු හැම මිස් කෙනෙකුටම සර් කෙනෙකුටම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම මගේ මුල් පාසලේ සහ දැන් ඉගෙන ගන්න පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටම ගොඩක් ස්තුතියි කියනවා. සිරස ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා”.˝

පොත් කියවීමට අමතරව චිත්‍ර ඇඳීමටත් සතුන් ගැන පොත් ලිවීමටත් කැමති ප්‍රශස්ත වඩාත් ප්‍රියකරන්නේ චෙස් ක්‍රීඩාවට සහ බාස්කට් බෝල් ක්‍රීඩාවටය. අනාගතයේ ඉංජිනේරුවරයෙක් වීමට කැමැත්තෙන් සිටින ඔහු පරිසරය ගැන වැඩිදුර ඉගෙන ගැනීමට ද ප්‍රිය කරයි.

‘‘ඉස්කෝලේ වැඩ හොඳින් කරලා ගුරුවරුන්ට, මවුපියන්ට කීකරුව පොත් ගොඩක් කියවලා අමතර දැනුමත් හොයාගෙන ක්‍රීඩා කටයුතුත් කරලා අනාගතේ හොඳ රැකියාවක් කරලා රටට සේවයක් කරන්න. ඒ වගේම පරිසරයටත් ආදරය කරන්න කියලා මම නංගිලා මල්ලිලාට කියන්න කැමතියි”.˝

ප්‍රශස්ත පුතුගේ සිතිවිලි ද ඔහු මෙන්ම පියකරු ය; ප්‍රශස්ත ය. අවසාන වශයෙන් ප්‍රශස්ත පුතු දිනාගත් රුපියල් මිලියනය ගැන අප ඔහුගේ මවගෙන් විමසුවේ මේ වන විට ඒ පිළිබඳ විවිධ අසත්‍ය පුවත් සමාජ ජාලා ඔස්සේ පළ වෙමින් තිබෙන නිසාය. ‘‘ඒ මුදල මුළුමනින්ම පුතාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන් කිරීමයි අපේ බලාපොරොත්තුව”.

සුරේකා නිල්මිණි ඉලංකෝන්