piliyandala-lockdown-lokuge

ග්‍රාම නිලධාරී වසම් 52ක් සහිත පිළියන්දල පොලිස් බල ප්‍රදේශයම හුදෙකලා කළ බවට පසුගිය ඉරිදා (02) උදෑසන සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ආරක්ෂක අංශ තීරණය කර ජනතාවට දැනුම් දෙන ලදි. නමුත් පැය 12 ක ඇවෑමෙන් එදින රාත්‍රීයේ එම තීරණය වෙනස් කර ඒ අවට ග්‍රාම නිලධාරී වසම් 9 ක් පමණක් හුදෙකලා කරන්නට තීරණය කළ බව දන්වා සිටි අතර  පිළියන්දල පොලිස් වසමට අයත් ඉතිරි වසම් 43 හුදෙකලා බව ඉවත් කර ඇති බව දන්වා සිටින ලදි.
සාමාන්‍යයෙන්  හුදෙකලා කරන ප්‍රදේශ එලෙස කරන්නට නිර්දේශ කරන්නේ බරපතල සෞඛ්‍ය ගැටලු තත්වයක් පවතින නිසාය. එසේම එම තත්වයන්ගෙන් මුදවාලනු ලබන්නේ නිශ්ඤිත කාලයක් නිරෝධායනයට ඉඩ සලසා සති කිහිපයක් ගතවූ පසුවය.
පිලියන්දල වසම් ගණනාවක් මේ ආකාරයට පැයගණනකින් වසන්නට හා අරින්ට බලධාරීන් තීරණ වෙනස් කළේ ඇයිද යන්න ගැටලුවක් විය.
නමුත් ඊයේ දහවල් වනවිට කරුණු අනාවරණය විය. ප්‍රබල ඇමතිවරයෙකු වූ ගාමිණී ලොකුගේ මහතා බලධාරීන්ට දුරකථනයෙන් කතාකොට මෙම ‘ආපස්සට හැරවීම‘ සිදුකර ඇති බව මේ වනවිට හෙළිව තිබේ. වෛද්‍ය නිර්දේශය පරදා දේශපාලක නිර්දේශය ක්‍රියාත්මක වන්නේ නම් ඊට මැදිවන රෝග බියෙන් පෙළෙන ජනතාව කුමක් කළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි.


පිළියන්දල වසාදමන්නට ලිඛිත ඉල්ලීමක් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය කියා සිටියේ,
‘මේ වන විට පිළියන්දල කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වනවා. හඳුනා නොගත් රෝගීන් නිදැල්ලේ සැරිසරමින් සිටිනවා.  ඇතැම් හඳුනාගත් රෝගීන් රෝහල් ගත කිරීමට ප්‍රමාද වී නිවෙස් වල රඳවා සිටිනවා.
වසම් 52 ම වසන ලෙස ලිඛිත ඉල්ලීමක් කළේ ඒ නිසයි.
ඒ අනුව එම ප‍්‍රදේශය වසා දමුවත් පසුව මාගේ දැනුවත් භාවයකින් තොරව එම හුදෙකලා සීමාවන් ලිහිල් කර තිබෙනවා.එසේ කරන්නට මගෙන් යළි විමසීමක් කර නැහැ.‘

බලධාරීන්ට ඇමතුම් ලබාදී ඇති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ
"බුද්ධි අංශ විවිධ අංශ වල තොරතුරු තිබුනෙ මේ පලාත ලොක් ඩවුන් කළ යුතු නැතෙයි කියලා.
පිලියන්දල වසා දමන විට ප‍්‍රදේශයේ කිසිවකු ඒ ගැන දැන සිටියේ නැහැ.පිළියන්දල නගරයේ රෝගීන් හමුවී නැහැ. සමහරු ජීවිත්වන්නෙ සුළු ව්‍යාපාර කරලා එක්වරම වැහුවාම ඔවුන්ට අමාරුයි. මං ප්‍රදේශයේ ජනතාවගේ දේශපාලන නියෝජිතයා හැටියට යම් ලිහිල් කිරීමක් කල හැකිදැයි අදාළ අංශවලින් ඉල්ලා සිටියා පමණයි. ඒ අනුව ඉල්ලීමට කන්දී වෙනස්කම් කර තිබුණා."



ඊයේ (03) රාත්‍රී පැවැති 360 සංවාදාත්මක සාකච්ඡාවට එක්වෙමින් යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මේ ගැන කතා කර තිබුනේ මෙසේය.

‘පිළියන්දල පොලිස් වසම හුදකලා කිරීමේ තීරණය ගත් පසු විවිධ පාර්ශව විසින් මට දුරකතන ඇමතුම් රාශියක් ලබාදුන්නා. එහිදී සියලු දෙනා ඉල්ලා සිටියේ හදිසියේ ගත් එම තීරණය හේතුවෙන් තමන්ගේ වෙළඳාම් කටයුතු දෛනික කටයුතු සිදු කර ගැනීමේ දැඩි අපහසුතාවයක් තියනවා කියලා. මේ ගැන පසුව ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාටත් ඒ අය දුරකතන ඇමතුම් දී ඇති බව දැනගන්නට ලැබුණා. ඉල්ලීම් ප්‍රබල වූ නිසා තීරණය වෙනස් කළා.‘

ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් ඉල්ලු පමණින් හුදකලා කිරීම් ඉවත් කරනවාද ලෙස යුද හමුදාපතිගෙන් ඇසූ විට,
‘කිසිවෙකු කියන ආකාරයට හුදකලා කිරීම් සිදු කරන්නෙ නැහැ ඒ සඳහා විශ්ලේෂණය කර සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මතයි තීරණ ගන්නේ.අදාල ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයාද කතා කර පිලියන්දල ප්‍රදේශයේ තත්වය ගැන දැනුවත් කළා. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගත් තීරණය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් පසුව තමා අවසන් තීරණය ගත්තෙ‘