[Trending][btop]
[News][stack]

පී.සී.ආර්. කරන්න ගොස් ගුරුවරියකට අතවර කළැයි පී.එච්.අයි අත්අඩංගුවට

pcr-phi-abuse

පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරමින් සිටින අතරතුර පාසල් ගුරුවරියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් නාලක ජයසූරිය නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහැරියේ අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වන යොහාන් අබේසේකර නමැති විවාහක සැකකරුවෙකි. අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටි පාසල් ගුරුවරියකට පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීමට සැකකරු ඇගේ නිවසට ගොස් ඇති බවත් එහිදී ඔහු ගුරුවරියට ලිංගික අතවර කිරීමට තැත් කළ බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවමත් අවසන්ව නොමැති නිසා සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පැවසුවේ සැකකරු ගුරුවරියකට අතවර කළ බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. සැකකරු රාජකාරියකට ගිය අවස්ථාවේ නිරෝධායනය කර තිබූ එම නිවසට අනවසරයෙන් පැමිණ සිටි පුද්ගලයකු ඇතුළු පිරිසක් ඔහුට පහරදී රාජකාරියට බාධා කර ඇති බවය. එසේ අධිකරණයට කරුණු පැහැදිළි කළ නීතිඥවරුන් සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ද ඉල්ලා සිටියේය.

තමා රාජකාරියට ගිය අවස්ථාවේ පැමිණිලිකාර ගුරුවරියගේ නිවසේ සිටි පිරිසක් තමන්ට පොලුවලින් පහරදුන් බව පවසමින් සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ද පොලිසියට පැමිණිල්ලක් කර පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ.

තිසල් තෙන්නකෝන් -සාලියපුර