
නිකවැරටිය මූලික රෝහලේ දී මියගිය වයස අවුරුදු 66 ක කාන්තාවකගේ මෘත දේහයක් මාරුකර වෙනත් පාර්ශවයකට දීම හේතුවෙන් පසුගිය 30 වැනිදා රාත්‍රියේ රෝහල අසල නොසන්සුන්තාවක් ඇති වූ බව නිකවැරටිය පොලිසිය කියයි.නිකවැරටිය තරණගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ඩී. පොඩිනෝනා නමැති සිව් දරු මවක අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය 29 වැනිදා නිකවැරටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දීම මියගොස් ඇත.
එහිදී රෝහලෙන් ඥාතීන් හට පවසා ඇත්තේ මෘත ශරීරය පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමු කළ යුතු බැවින් දේහය රැගෙන යාමට රෝහලෙන් දැනුම් දීමක් කළ පසු පැමිණෙන ලෙසයි. ඒ අනුව පසුගිය 30 වැනිදා සවස එම ඥාතීන්ට නිකවැරටිය රෝහලෙන් දැනුම් දී ඇත්තේ පී.සී.ආර්. වාර්තාව අනුව මියගිය තැනැත්තියට කොවිච් 19 වයිරසය වැලඳී නොමැති බැවින් රෝහලට පැමිණ දේහය බාර ගන්නා ලෙසයි. එහෙත් රෝහලට ගිය ඥාතීන්ට බාර දී ඇත්තේ මියගිය වෙනත් කාන්තාවකගේ දේහයකි.
ඥාතීන් එම දේහය බාර ගැනීම ප්‍රතිෂ්ප කර ඇති අතර එම අවස්ථාවේ දී නොසන්සුන්තාව ඇතිව තිබේ. පොලිසිය ද එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කර ඇත්තේ පසුදා (1) උදෑසන විසඳුමක් ලබා දෙන බවට පොරොන්දුවක් ලබාදීමෙනි. මවගේ දේහය රැගෙන යාමට පැමිණි නිකවැරටිය තරණගොල්ල ඥාතීන් හට රෝහල් සේවකයන් එම අවස්ථාවේ රෝහලේ තිබු සියලුම මෘත දේහ පෙන්වා ඇති අතර කොවිඩ් ආසාදිතව මිය ගිය දේහයක් ද පෙන්වූ බව ඥාතීහු කියති.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලූ ඥාතීන්ට අනාවරණය වී ඇත්තේ මෙසේ මියගිය පොඩිනෝනා නමැති අයගේ දේහය මහව නිකවලයාය ප්‍රදේශයේ සිට පැමිණ රෝහල්ගතව සිට මිය ගිය ජේන් නෝනා නමැත්තියගේ දේහයට මාරු වී රැගෙන ගොස් ඇති බවයි. නිකවැරටිය තරණගොල්ල පිරිසට රැගෙන යාමට රෝහලෙන් ලබා දී ඇත්තේ මහව ප්‍රදේශයෙන් රෝහල්ගතව මියගොස් සිටි ජේපින් නෝනා නමැති අයගේ දේහයයි. කෙසේ වෙතත් 30 වැනිදා උදෑසන මහව නිකවලයාය ප්‍රදේශයේ පිරිස රෝහලෙන් රැගෙන ගිය දේහය මල් ශාලාවකින් අවශ්‍ය කටයුතු සිදු කර තම නිවෙසට රැගෙන යාමෙන් තොරවම මහව කැකිරිබොඩයාගම ආදාහනාගාරයේ දී ආදාහනය කර ඇත. මියගිය තරණගොල්ල පොඩි නෝනා නමැත්තියගේ බාල පුතු වන ආර්.ඩී. ලක්මාල් ප්‍රියදර්ශන තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් මෙසේ කීවේය.
අපි අම්මා අරගෙන යනකොට ට්‍රොලියක්වත් තිබුණේ නැහැ. අපි උස්සල තමයි ඇතුළට දැමේ. ඒත් එක්කම අම්මා නැති වුණා කියලාෙ පී.සී.ආර්. එහෙම කරන්න ඕනෑ කියලා එළියටදැම්මා. ඊට පස්සේ කට්ටියක් ඇවිල්ලා පහලට අරන් ගියා. එච්චර තමා දන්නේ. ඊට පස්සේ ඊයේ කිව්වා බොඩි එක අරන් යන්න එන්න කියලා. ගිහින් බලන කොට අම්මගේ මළ සිරුර තිබුණේ නැහැ. එතන තිබුණ මළ සිරුර ඔක්කොම අපට පෙන්නුවා. අර ලෙඩ හැදුණ කෙනෙකුගේ සිරුරකුත් තිබුණා. ඒකත් බලන්න කිව්වා. අපි එකක් ඇරලා බැලුවා.
කවර දාලා වහලා තිබුණේ ඒ කට්ටිය කිව්ව ඇරලා බලන්න කියලා අපි ඇරලා බැලුවා. ඒත් කොහෙවත් අම්මගේ මළ සිරුර තිබුණේ නැහැ. කවුරුවත් අපට උත්තරයක් දෙන්නේ නැහැ. නිලධාරි කවුරුවත් ආවේ නැහැ. නිකවැරටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පතමිල අධිකාරි මහතා කියා සිටියේ ගැටලුව සමථයකට පත් නොවූයෙන් මෘත දේහය මුදා හැරීමට කටයුතු කළ රෝහල් සේවකයන්,
එම මෘත දේහය රැගෙන ගිය මහව ප්‍රදේශයේ ඥාතීන් සහ දැනට අපහසුතාවට පත්ව සිටින නිකවැරටිය තරණගොල්ල ප්‍රදේශයේ පිරිස ද කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ බවයි. වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ අගතියට පත් තරණගොල්ල ප්‍රදේශයේ පිරිස තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් සිවිල් නඩුවක් පැවරීමට කටයුතු කරන බව පැවසු බවත් අදාළ මෘත දේහ නිදහස් කිරීමට සම්බන්ධ රෝහලේ සේවකයන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරික්ෂණයක් සිදුකිරීමට ද තීරණය කළ බවයි. එම අවස්ථාව වන විට රෝහලේ තැත්පත් කර තිබූ මහව ප්‍රදේශයේ ඥාතීන්ගේ මවගේ සැබෑ දේහයත් මහව ඥාතීන් විසින්ම බාර ගැනීමට කැමැත්ත දැක් වූ බව ද වෛද්‍ය අධිකාරිවරයා කීවේය.
(වාරියපොළ - රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)