maharagama-incident

අඹු සැමි යුවළක් අතර වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් සැමියා බිරිඳගේ හිසට එල්ල කළ පොලු පහරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි. 

පසුව සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන මියගිය කාන්තාවගේ සැමියා වන 36 හැවිරිදි පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ මියගොස් ඇත්තේ මහරගම, පමුණුව පදිංචි 31 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.


මෙම කාන්තාව හා ඇගේ සැමියා අතර 16 වැනිදා සවස 5.00 ට පමණ ආරවුලක් සිදුව ඇති අතර එහිදී සැමියා බිරිඳගේ හිසට පොල්ලකින් පහරදී ගෙළ සිරකර බරපතළ තුවාල සිදුකර ඇතැයි පැවැසේ. පසුව 1990 සුවසැරිය ගිලන් රථයකින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට යාමේ දී මෙසේ මියගොස් ඇති බව පොලිසිය කියයි.  සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරින් පැමිණ පරික්ෂණ ආරම්භ කර ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරිමට නියමිතව තිබුණි.

 -ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න -