galle-bad-weather

ගාල්ල දිස්ත්‍රික්කයට අද (13) දහවල් කාලයේ සිට ඇද හැළෙන හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ගඟ අවට වෙසෙන නෙළුව, තවලම, නාගොඩ, සහ නියාගම ජනතාව ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙස ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි. 



 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දන්වන්නේ ගිං ගඟ හා නිල්වලා ගඟ දෙපස ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි.

මේ අතර  පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග කුකුළේගඟ සහ කුඩාගඟ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් ඇතැයිද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්වරුවේ නිකුත් කෙරුණු නිවේදනයට අනුව මිල්ලකන්ද ජල මිනුම් ස්ථානය දැක්වුණේ සුළු ගංවතුර මට්ටමකයි. මීට හේතු වී ඇත්තේ කළුගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ගංගා ධාර ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ අධික වර්ෂාවක් ඇදහැලීමයි.

ඒ අනුව බුලත්සිංහල, පාරින්ද නුවර, මිල්ලනිය, හොරණ, දොඩන්ගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා ගඟ, කළුගඟ, ගංවතුර නිම්නයට අයත් පහත්බිම් ප්‍රදේශවල ජනතාව අද රාත්‍රියේ හා හෙට දිනයේ ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් වැඩි අවදානයකින් පසුවිය යුතු බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අද සිට නැවත දැනුම් දෙනතුරු බේරුවල, දික්ඕවිට, පිටිපන, කල්පිටිය සහ මයිලඩි යන ධීවර වරායන්වලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යන බහුදින යාත්‍රා සඳහා අවසර ලබා නොදෙන බව, ධීවර දෙපාර්තමේන්තුව පවසා තිබේ.