diana-gamage

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.  මෙම සිද්ධියට අදාළව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 175 සහ 1948 අංක 20 දරන ආගමික හා විගාමික පනත්තේ 45(1) (අ) සහ (ඇ) වගන්ති යටතේ වැරදි නිරීක්ෂණය වන බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතා මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් මාර්තු මසෙ 09 වැනිදාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටිමින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් රාජකාරි ගමන් බලපත්‍රයක් හා සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ලබාගෙන මෙරට නීති විරෝධී ලෙස රැඳී සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 22, වට මාවත, පිළියන්දල ලිපිනයෙහි හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් යන විසින් ඉකුත් 2020 වර්ෂයේ නොවැම්බර් මස 02 වැනිදාය.



පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඉකුත් 2004  වර්ෂයේ දෙසැම්බර් මස 22 වන දින නිකුත් කරන ලද අංක 658534300 වී දරන ජාතික හැඳුනුම්පිත හා අංක 6553 දරන උප්පැන්න සහතිකය උපයෝගී කරගනමින් අංක එන්. 501386 දරන විදේශ ගමන් බලපත්‍රයක් 2014 ජනවාරි මස 24 දින ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වන බව අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට   කරුණු වාර්තා කර ඇත.  එමෙන්ම 2018 අගෝස්තු මස 07 වැනිදා  ආගමන විගමන දෙපාර්තමේන්තු මගින් අංක  ඕ එල් 5654794 දරන රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති අතර ඒ සඳහා  මෙම තැනැත්තිය විසින් තවත් ලියැකියවිලි රාශියක් ලබා දී ඇති බවට අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

 ඒ අනුව, මෙම පැමිණිල්ලට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක චම්පික රාමවික්‍රම මහතාගෙන් ප්‍රකාශයක්  ලබාගත් බවත්, මෙම තැනැත්තිය විදේශීය පුරවැසිභාවය ලබාගත් බව වසන්කොට මෙරට පුරවැසිභාවය පෙන්වීම සඳහා අංක 6553 දරන උත්පැන්න සහතිකය සහ අංක  658534300 වී දරන ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ලබාගෙන ඇති බවත් එමෙන්ම, අංක 1948 අංක 18 දරන පුරවැසි පනත අනුව විදේශීය  රටක පුරවැසිභාවය ලබාගන්නා ශ්‍රී ලාංකිකයකුට මෙරට පුරවැසිභාවය අහෝසි වන බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.



ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා සහ ප්‍රත්‍යන්ත පාලක ජිනානි කුසුමාවේල් අතුකෝරාල මහත්මිය ප්‍රකාශයක් ලබා දෙමින්  සඳහන් කර ඇත්තේ ඩයනා ගමගේ යන අය  බ්‍රිතාන්‍ය පුරවැසියකු වශයෙන් ශ්‍රී ලංකාවේ   වීසා අයැදුම් කර ඇති බවත් 2004 ඔක්තෝබර් මස 10 වැනිදා සිට අවස්ථා කිහිපයකදීම සංචාරක වීසා සහ වාස වීසා ලබාගෙන ඇති බවත් අවසන් වරට 2014 අගෝස්තු මස 27 වැනිදා සිට 2015 ජුලි මස 16 වැනිදා දක්වා වාස වීසා ලබාගෙන ඇති බව ආගමන විගමන දත්ත පද්ධතිය අනුව සටහන් වී ඇති බවය. එසේම, 2015 ජුලි මස 16 වැනිදායින් පසු වීසා ලබාගත් බවට කිසිදු තොරතුරක් සටහන්ව නොමැති බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

 තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මල්ලව ආරච්චිගේ ජීවනී කරුණාරත්න මහත්මිය ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ, අංක 6553 යටතේ දකුණු කොළඹ මහ රෝහලේ උපත ලද බවට සඳහන් ඩයනා ගමගේ නමින් ඇති උප්පැන්න සහතිකයේ දකුණු කොළඹ ලෙස සටහන්ව ඇති නමුත් එවැනි කොට්ඨාසයක් කොළඹ දිස්ත්‍රික්කයේ  නොමැති බවත් මෙම උත්පැන්න සහතිකය ව්‍යාජ උප්පැන්න සහතිකයක් බවයඒ අනුව, මෙම සිද්ධියට අදාළ කරුණු වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් වාර්තා ලබාගැනීමට ඉල්ලීමක් කර ඇති බවත් එම වාර්තා ලබාගැනීමෙන් පසු අධිකරණය වෙත වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවත් අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.


 -නිමන්ති රණසිංහ-