covid-salary-half

කොවිඩ් - 19 වසංගතය පැතිරීම නිසා රැකියාවට පැමිණීමට නොහැකිව නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති
අයට වැටුපෙන් භාගයක් ගෙවීමටත්, රැකියාවට පැමිණෙන අයට සුපුරුදු ලෙස සම්පූර්ණ වැටුප ගෙවීමටත්,
එමෙන්ම යම් කිසි හෙයකින් පවතින තත්ත්වය නිසා කර්මාන්ත ශාලා වැසීමට සිදුවුණහොත් සේවය අවසන් කිරීම


පනත යටතේ ඔවුන්ට වන්දි ලබා ගැනීමට ඉඩ කඩ සලසාදී ඇති බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද
සිල්වා මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 04දා සිය අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

කම්කරු දෙපාර්තමේන්තුව, හාම්පුතුන් සහ වෘත්තීය සමිති එක්ව ජාතික මට්ටමෙන් සාකච්ජා කර එම
තීරණවලට එළැඹුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.



වැඩබිම්වල කොවිඩ් මර්දනය කිරීමේ කමිටු ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන අතර 95%ක් පමණ කමිටු ඉතා
හොඳින් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවැසීය. එලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් ඒවා ගැන
කම්කරු කොමසාරිස්වරයාට පෙන්වාදෙන ලෙස වෘත්තීය සමිති දැනුවත් කර ඇති බවද ඔහු පැවැසීය.

වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

“යම්කිසි හෝ ප්‍රශ්න සහගත බවක් එහි තිබුණොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කොවිඩ්
බළකායට දැනුම් දෙනවා. කොවිඩ් - 19 තත්ත්වය නිසා මේ වෙද්දී රට තුළ 15,000කට පමණ රැකියා
අහිමි වී තිබෙනවා. රැකියා අහිමි වී තිබෙන පුද්ගලයන්ගේ සුබසාධනය භාර ගැනීමට සිදුවන අතර
විශේෂයෙන් විදෙශ්ගත ශ්‍රමිකයන් ගතහොත් මේ වන විට 58,000ක් පමණ දිවයිනට පැමිණ සිටින අතර තවත්
30,000ක් පමණ පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔවුන් නිරෝධායනය කිරීමට අවශ්‍ය හෝටල්
පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් මුදල් ගෙවා සූදානම් කර තිබෙනවා. ඔවුන්ගෙන් කිසිදු
මුදලක් අය කරන්නේ නැහැ. පී.සී.ආර්. පරීක්ෂණ පවා රජයෙන් කරනවා.

එමෙන්ම සේවක අර්ථසාධක අරමුදලට කළ යුතු ගෙවීම්ද 2019 වසරට සාපේක්ෂව 2020 වසර තුළ මිලියන
600ක පමණ අඩුවක් තිබෙනවා” යනුවෙන්ද පැවැසීය.

මෙම මාධ්‍ය හමුවට කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රසිරි මහතාද සහභාගි විය.