covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 




මොරටුව

මොරටුව සහ මොරටුව එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරෝනා රැලි තුනෙන්ම වාර්තතා වූ රෝගීන් සංඛ්‍යාව 1569 බවත් එම රෝගීන් අතරින් මරණ විසිහතරක් සිදුවී ඇති බවත් සෞඛ්‍ය අංශ ඊයේ (10) පැවසීය. ඒ අනුව රැලි තුනේදීම මොරටුව සෞඛ්‍යවෛද්‍ය නිලධාරි බලප්‍රදේශයේ රෝගීන් නවසීයක් ද එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ රෝගීන් හයසිය හැටනවයක් පමණ වන බවත් සෞඛ්‍ය අංශ පවසයි.අප්‍රේල් මාසයෙන් ආරම්භ වූ අවුරුදු පොකුරේ මොරටුවෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 300ක් බවත් ඒ අතර ගැබිනි මව්වරුන් සිටින බවත් සෞඛ්‍ය අංශ පැවසීය. මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයන් දෙකෙහි රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වන ප්‍රදේශ ලෙස මොරටුව විලෝරාවත්ත, කටුබැද්ද තෙලවන, ලක්ෂපතිය යන ප්‍රදේශ හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය.

 කැස්බෑව

දින 21ක් තුළදී කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරස ආසාදිත රෝගීන් 629 දෙනකු වාර්තා වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. එකී කාලය තුළ පුද්ගලයන් තිදෙනකු මරණයට පත්වී ඇතැයි ද වෛද්‍යවරිය පැවසුවාය.  වැඩිම රෝගීන් ප්‍රමාණයවන 192 දෙනකු පෙරේදා රාත්‍රී ලද වෛද්‍ය වාර්තාවලින් අනාවරණ වූ අතර එය ඉකුත් හත්වෙනි දින සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ 510කින් හා පිළියන්දල පොදු වෙළෙඳපොළ හා නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ අහඹු පී.සී.ආර්. පරික්ෂණවලින් ආසාදිත බවට තහවුරු වූ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ පදිංචි ආසාදිත රෝගීන් 25 දෙනකු ඒ අතර වන බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.




බණ්ඩාරගම

 බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයෙන් දින විසිඑකක් තුළදී කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 410 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය.
එම දින 21 තුළදී මරණ 7ක් වාර්තා වී ඇතැයි වෛද්‍යවරිය කීය. වැඩිම රෝගීන් වාර්තා වන්නේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාමසේවා වසමින් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 31කි. එම වසමට මේ වනවිට සංචරණ සීමා පනවා ඇතැයි හෙතෙම පැවැසීය.
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයෙහි ජනතාවට සයිනොෆාම් එන්නත ලබාදීම පෙරේදා ආරම්භ කළ බවත් ප්‍රථමයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය සභාවේ සේවක සේවිකාවන්ට මෙන්ම ඊයේ (10) බණ්ඩාරගම නැගෙනහිර ගැලනිගම හා වෑවිට ග්‍රාමසේවා වසම්වල පදිංචි ජනතාවට ලබාදීමට පියවර ගත් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවාය.

කැලණිය
කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශය තුළ පසුගිය අප්‍රේල් 19 වැනිදා සිට මේ දක්වා කොවිච් 19 ආසාදිතයන් 235ක් (දෙසිය තිස් පහකට පමණ පිරිසකට කරන ලද පී. සී. ආර්. පරීක්‍ෂණ මගින් සොයාගෙන ඇත. එලෙසම පෙරේදා (09දා) පමණක් 28 දෙනෙකු සොයාගෙන ඇත. මෙම ආසාදිතයන් රෝහල්ගත කර ඇති අතර, සමහරු ප්‍රතිකාර ලබා සුවපත්ව සිය නිල්වෙස් කරා පැමිණ නිරෝධායනය වෙමින් සිටින අතර සමහරුන් නිරෝධායනය අවසන් කර ඇතැයි කැලණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ඇම්. පී. බී. රත්නායක මහතා පැවැසීය.  
දැනට ලැබෙන වාර්තා අනුව කැලණීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ වසා දැමීමක් ලොක්සිවුන් කඩිනමින් කළයුතු තත්ත්වයක් දක්නට නොමැති අතර, අප්‍රේල් 19 දිනෙන් අනතුරුව ආසාදිතයන් මෙලෙස ඉහළ යෑමට හේතුව සිංහල - හින්දු අවුරුදු සමයේ නෑදෑ ගමන් යැම, විනෝද චාරිකා සහ විවාහ මංගල උත්සවවලට වගවිභාගයකින් තොරව සහභාගිවීම බැද රත්නායක මහතා සඳහන් කළේය.
2021 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා 736ක (හන්සිය තිස් හයක) පිරිසක්. කොවිච් 19 ආසාදිත වූ අතර, මුව ආවරණ පැළඳීම, දෑත් සේදීම, දුරස්ථභාවය රැකීම, අත්‍යවශ්‍ය නොවන සංචරණයන්ගෙන් ඈත්වීම යන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදීනම් කොවිච් - 19 වසංගත තත්වයෙන් මිදීමට තවත් ප්‍රමාද නැතැයි කැලණීය පරිපාලත මහජන සෞඛ්‍ය පරික්‍ෂක ආර්. ඇම්. පී. බී. රත්නායක මහතා තවදුරටත් සඳහන් කළේය.

අවිස්සාවේල්ල
අවිස්සාවේල්ලේ පිහිටි සීතාවක ආයෝජන කලාපයෙන් කොවිච් - 19 අසාදිතයන් 29 දෙනකු ඊයේ (10) වනවිට හමුවී ඇත. කරන ලද පී. සී. ආර්. පරික්‍ෂණවලට අනුව අවිස්සාවේල්ල නගර සීමාවේ පදිංචිකරුවන් සත් දෙනකු හමුවී ඇතැයි අවිස්සාවේල්ල නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්‍ෂක එන්. ආර්. වික්‍රමසිංහ මහතා සදහන් කරයි. එලෙසම මෙම ප්‍රදේශය තුළ වැසි තත්වයත් සමගින් වෙරස් උණක් පැතිරෙමින් තිබෙන බවත්, නගර සභා සීමාව අවදානම් කලාපයක් බවට පත්වෙමින් පවතින බැව් ද වාර්තා වේ. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශකළේ කෑගල්ල ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ක්‍රීඩා ගුරුවරයකු කොවිච් ආසාදිතව මරණයට පත්වූ බවය.
මේ අතර රඹුක්කන රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ඇඳන් 81 ම රෝගීන්ගෙන් පිරි ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්නපුර

රත්නපුර අගම්මන මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයන් 15දෙනකුට කොරෝනා ආසාදිත වීමෙන් පසු මංගල්‍යයට සහභාගි වූ තවත් පුද්ගලයන් 171 ක් පී. සී. ආර්. පරීක්ෂණයට යොමු කර තිබේ.
ප්‍රදේශයේ පවතින තත්වය සැලකිල්ලට ගෙන අංගම්මත ග්‍රාම සේවා වසම ඊයේ 10 වැනිදා සිට හුදෙකලා කර තිබේ. පසුගිය 28 වැනිදා සහ 01 වැනිදා පැවැති විවාහ මංගල්‍යය උත්සවයකට මෙම ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගි වී ඇතැයි රත්නපුර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසති. මේ අතර මෙම ප්‍රදේශයේ 91 හැවිරිදි පුද්ගලයකු මරුමුවට පත්වූ අතර ඔහුට කොඩි ආසාදිත බව හෙළි විය. එම නිවෙස සමග සම්බන්ධතා පැවැත්වූ නිවාස 05 ක පුද්ගලයන්ද නිරෝධායනයට යොමු කර තිබේ. ඔවුන්ද පී. සී. ආර්. පරික්ෂණ සඳහා යොමු කර ඇත.

සෞඛ්‍ය උපදෙස් සහ තහනම් නොතකා පවත්වන ලද විවාහ හා කොටහළු මගුල් නිසා රත්නපුර දිස්ත්‍රික්කය පුරා කොවිච් වසංගතය පැතිරයාමේ වේගය ඉහළ ගොස් ඇත. රත්නපුර නගරාසන්න උත්සව ශාලා දෙකක පැවැති මංගල උත්සව දෙකකටම කොවිඩ් වෙරසය වැළඳී ඇති බවට සැකසහිත පිරිසක් සහභාගිවූ බවට ලද තොරතුරු මත රත්නපුර නගර සභා සීමාවේ අංගම්මත ගම්මානය 9 දා සිට හුදෙකලා කර ඇත. මේ හැරුණු විට රත්නපුර පොලිස් වසමේ ඇලපාත සහ ගගුල්පිටිය ගම්මානය හුදෙකලා කර ඇත. විශාල ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් රත්නපුර නගරාසන්න උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයකට සහභාගීවූ කාන්තාවන්ද මියගොස් ඇත.
ප්‍රදේශයේ වගකිවයුතු සෞඛ්‍ය බලධරයෙක් පැවැසුවේ කොතරම් නීති දැම්මත් උපදෙස් දුන්නත් මහජනතාව එම නීති උපදෙස් පිළිනොපදින්නේ නම් මෙම වසංගත තත්වය පාලනය කරගැනීම අසීරු බවයි. මෙම ඊයේ 10 දා උදෑසන සිට රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් බලප්‍රදේශයට
අයත් රඹුක, අත්ලාන දොලේකන්ද, කනංවල, ඉළුවකන්ද සහ පොතුපිටිය දකුණ ග්‍රාම නිලධාරි වසම්ද හුදෙකලා කර ඇත.




කළුතර

කළුතර දිස්ත්‍රිකයේ පොලීස් බලප්‍රදේශ රැසකින් පෙරේදාත්  නව කොරෝනා ආසාදිතයන් රැසක් වාර්තා වී තිබිණි.ඒ අලුත්ගම 01ක්, දොඩම්ගොඩ 08ක්, උතුරු කළුතර 22ක්, බේරුවල 02ක්, පයාගල 14ක්, මතුගම 12ක්, දොඩම්ගොඩ 06ක්, බුලත්සිංහල 07ක්, මීගහතැන්න 12ක්, වැලිපැන්න 06ක්, තිනියාවල 07ක්, අගලවත්ත 01ක්, පානදුර දකුණ 18ක්, හොරණ 12ක්, පානදුර උතුර 06ක් හා අඟුරුවාතොට 06ක් වශයෙනි.

කළුතර දිස්ත්‍රික්කයේ ෆාමසි සහ වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන හැර අන් සියලු කඩ සාප්පු මැයි මස 10 වන දින සිට සති 2ක කාලයක් වසා තබන ලෙස කළුතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය දිස්ත්‍රික්කයේ සියලු වෙළඳ සංගම් හරහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.
කළුතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති සරත්  කහගලආරච්චි මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඊයේ (10) කළුතර දිස්ත්‍රික්කයේ සියලු වෙළඳ සංගම්වල සභාපතිවරුන් වෙත යවා තිබුණි.

මාරාන්තික කොවිඩ් 19 නව ප්‍රභේදය තරුණ තරුණියන්ද බිලි ගන්නා බැවින් මෙම මාරාන්තික වසංගතය මැඬලීම සඳහා හැම දෙනාම එකතුව එකා මෙන් සෞඛ්‍ය නිර්දේශයන් දැඩිව පිළිපැදිය යුතු බව එම ලිපියෙන් අවධාරණය කර ඇත.


බේරුවල
බේරුවල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා කෝවිඩ් ආසාදිතයෙකු බවට ඊයේ (10දා) අනාවරණය වී ඇතැයි බේරුවල සෞඛ්‍ය නිලධාරි කාර්යාලය පවසයි.බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් පයාගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොටිඨාසයේදී සිදු කළ පී.සී.අර්.පරික්ෂණයකදී මේ බව තහවුරු වී තිබේ.ඒ හේතුවෙන් ඒ මහතාගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇත.

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලවන්ගොඩ  ග්‍රාම නිලධාරී වසමේ ගම්මාන කිහිපයකින් කොරෝනා ආසාදිත පුද්ගලයන් තිස්පස් දෙනකු හමුවීමත් සමග බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ අලුත්ගම පොලිසිය එක්ව මෙම ගම්මානය හුදෙකලා කළ අතර මේ වන විට එම ග්‍රාම නිලධාරි වසම්වලට අයත් ගම්මානවලින් කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් නොකළ බැවින් කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අංශ හා අලුත්ගම පොලිසිය හුදෙකලා කර තිබූ එම ගම්මානය අද (10) නිදහස් කළ බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසෝක කරුණාරත්න මහතා පැවැසීය.

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමස්ත කොරෝනා ආසාදිතයන් 280 දෙනකු මේ වනවිට වාර්තා වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් එම්. රන්ජන් ප්‍රියශාන්ත මහතා ඊයේ (10) පැවැසීය.කොරෝනා තෙවන ව්‍යාප්තියෙන් ගත වූ දින 22කදී ග්‍රාම නිලධාරි වසම් 45ක පුද්ගලයන් මෙලෙස ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කර තිබෙන බව සඳහන් කරයි.

අලුත්ගම
 අලුත්ගම පොලිස් වසමේ මාලවන්ගොඩ 768/බී ග්‍රාම නිලධාරි වසමට අයත් පාදාගොඩ, සමගි මාවත, ගෝවින්දගම, රණවිරු මාවත යන ගම්මාන දින දහයකට පසු ඊයේ (10) හුදෙකලා බවෙන් නිදහස් කළ බව අලුත්ගම පොලිසිය පැවසීය


මතුගම

ප්‍රධාන පෙළේ පාසල් කීපයක ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලයනල් ගමඇතිගේ මහතා කියයි.මතුගම ප්‍රධාන පෙළේ පාසල් කීපයක සිසු සිසුවියන් පිරිසකට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති අතර එම සිසුන් මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අමතරව අගලවත්ත, පාලින්දනුවර, වලල්ලාවිට,බුලත්සිංහල සහ දොඩන්ගොඩ වැනි ප්‍රදේශවලින් ද වාර්තා වී ඇත.මෙම සිසුන්ට කොරෝනා වයිරසය ආසාදනය වීම එම විදුහල්වලින් සිදු වූයේද එසේ නැතිනම් ඔවුන් පදිංචි ප්‍රදේශවලින් ආසාදනය වීදැයි හෙළිවී නොමැති අතර තම දරුවන් ජනයා ඒකරාශී වන ස්ථානවලට යොමුවීම වළක්වා ගැනීම මවුපියන් සිදුකළ යුතු බවත්, හැකි සෑමවිටම නිවසේ රැඳී සිටීමට සියලු දෙනා වගබලාගත යුතු බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලයනල් ගමඇතිගේ මහතා වැඩිදුරටත් පැවසීය.


 හැටන්

හුදෙකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායේ සහ සංචරණ සීමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතුයායෙන් කොවිඩ් 19 වයිරසය අසාදනය වී තවත් අසාදිතයන් 18 දෙනෙකු 10 දින හඳුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසීය.

හුදෙකලා කර ඇති සහ සංචරණ සීමා පනවා ඇති එම ප්‍රදේශවලින් මීට ප්‍රථම කොවිඩ් 19 වයිරසය අසාදනය වූ අසාදිතයන් 25 දෙනෙකු හමු වී ඇති අතර, එම අසාදිතයන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර එම අසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන්ගෙන් 06 වැනිදා කළ පී.සී.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 18 දෙනා හමු වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.

එම අසාදිතයන් 18 දෙනාට අමතරව තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන සෙන් ජොන් ටිලරි වතුයායෙන් අසාදිතයන් 02 හඳුනාගත් බවත්, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (10) දින කොවිඩ් 19 වයිරසය අසාදනය වූ අසාදිතයන් 20 දෙනෙකු හමු වී ඇති බවත් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.

ඉරණවිල

ඉරණවලි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 64ක් වන අයකු පෙරේදා (09 වැනිදා) මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මියගොස් ඇත්තේ හලාවත ජයබිම පදිංචි අයෙකි.
පසුගිය 08 වැනිදා ඔහු උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේ දී සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඔහු කොරෝනා ආසාදිත අයෙකු බවට හඳුනා ගෙන ඇත. ඒ අනුව ඔහුව ප්‍රතිකාර සඳහා ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇත. ඉරණවිල ප්‍රතිකාර මධස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර එම අය මිය ගොස් ඇත.
මේ අතර හලාවත පොලිසියේ සේවය කරන තවත් පොලිස් කොස්තාපල්වරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. කොවිඩ් තෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව හලාවත පොලිසියේ සේවය කරන නිලධාරීන් 05 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට මේ වන විට හඳුනාගෙන ඇත.


මාතර

කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි අකුරැස්ස විල්පිට හා දෙනගම පල්ලාවේල යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මින් අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි ගැබිනි කාන්තාව පෙරේදා (09 වැනිදා) දිනයේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇයට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් අනතුරුව මුල්ලේරියාව රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කොට ඇත. එහිදි අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කිරීමෙන් අනතුරුව එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
හක්මන පල්ලාවේල කොන්ගස්තැන්නහේන ප්‍රදේශයේ පදිංචිව සිට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් කඹුරුගමුව කොටවිල නව දිස‍්ත්‍රික් මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 57 හැවිරිදි කාන්තාව ඊයේ (10 වැනිදා) උදෑසන මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම කාන්තාව වකුගඩු රෝගයක් හේතුවෙන් වලස්මුල්ල රෝහලට ඇතුළත් කොට ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇයට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබිණි.


මොණරාගල
 මොණරාගල නගරය හෙට (12) සිට සතියක කාලයක් වසා තැබීමට මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති ප්‍රාදේශීය කොව්ඩි   කමිටුවේදී තිරණය කළ බව මොණරාගල ප්‍රදේශීය සභාවේ සභාපති ආර්.එම්. රත්නවීර මහතා පැවැසීය.  මේ සඳහා මොණරාගල වෙළෙඳ සංගමයේ සහයද ලැබී තිබේ.

එම තීරණයට අනුව මොණරාගල මහානාම ජාතික පාසැලේ සිට කච්චේරිය හංදිය දක්වා වන කොටසේ සියලු වෙළඳසල් වසා තැබීමට සුදුසු බව තමන් මෙහිදී කොවිඩ් කමිටුවට පෙන්වා දුන් බව ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. රත්නවීර මහතා සඳහන් කළේය. මොනරාගල නගරය හා ඒ ආසන්න වටපිටාවේ ගම්මානවලින් කොවිඩ් 19  වැළඳුණු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීම මෙම තීරණය ගැනීමට හේතු වූ බව ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා කීවේය.

මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝහිටිය ගම්මානය ඊයේ (10 වැනිදා) පෙ.ව 6 සිට හුදෙකලා ගම්මානයක් බවට පත්කිරීමට තීරණය කළ බැව් මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ පැවසීය. බෝහිටිය ගම්මානයෙන් පී.සී.ආර් පරීක්ෂණවලට ලක්වූ පුද්ගලයන් පනස් එක් දෙනකුගෙන් තිස්දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනයවී ඇති බැව් අනාවරණය වීමෙන් අනතුරුව බෝහිටිය ගම්මානය මෙසේ හුදෙකලාකර ඇත.

මීට පෙරද බෝහිටිය ගම්මානයෙන් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් අටදෙනෙකු හමුවී ඇත. මෙම ගම්මානයේ පදිංචිකරුවන්හට පී.සී.ආර් පරීක්ෂණ අඛණ්ඩව සිදුකිරීමට පියවරගෙන ඇතැයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිලිණ වෙල්ලාලගේ පැවසීය.

මොනරාගල පොලිස් අධිකාරි කාර්යාලයේ සිවිල් රාජකාරි කටයුතුවල නිරතවන නිලධාරීන් 11 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් අධිකාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් 60 දෙනකු මේ වන විට නිරෝධායනය කර ඇත. පොලිස් අධිකාරි කාර්යාලයේ කටයුතු සාමාන්‍ය වශයෙන් සිදු කිරීමටද පියවර ගෙන ඇත.

 බදුල්ල

බදුල්ල ප්‍රාදේශීය සභාව ඊයේ (10දා) පස්වරුවේ සිට ලබන 17 වැනිදා තෙක් වසා දැමූ බව එහි සභාපති රම්‍යසිරී මන්තිලක මහතා පැවසීය. ප්‍රාදේශීය සභාවේ සභා ලේකම්වරියන්ගේ සැමියාට කෝවිඩ් වෛරසය ආසාදනය වීම නිසාවෙන් බදුල්ල ප්‍රාදේශීය සභාව තුළද වෛරසය පැතිර යාමේ අවදානමක් තිබෙන හෙයින් මෙසේ බදුල්ල ප්‍රාදේශීය සභාව සතියක කාලයක් පුරා වසා දැමීමට තීරණය කළ බවද හෙතෙම පවසා සිටියේය.මේ අනුව බදුල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය. දමන්වර පිහිටි උපකාර්යාලය, ආයුර්වේද මධ්‍යස්ථානය, පුස්තකාලය මෙසේ වසා දැමූ බව බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ සිදුකරන කැළිකසළ එකතු කිරීම, පිරිසුදු කිරීම, කෝවිඩ් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද , විෂබීජහරණය කිරීම, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද කටයුතු, සනීපාරක්ෂක කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.



රණාල

කඩුවෙල, නවගමුව, රණාල ප්‍රදේශයේ පෞද්ගලික සිසිල් බීම සමාගමක සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණ 250කින් පුද්ගලයන් 18කට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව කඩුවෙල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දන පත්බේරිය මහතා පැවසීය.


ජා-ඇළ

ජාඇළ ප්‍රාදේශීය සභා කොටිඨාසයෙන් ඊයේ (10දා) කෝවිඩ් ආසාදිතයන් 72දෙනෙකු හඳුනාගත් බව ජා-ඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලාල් විජේසිංහ මහතා පවසයි.ප්‍රදේශයේ පුද්ගලයන් 207දෙනකු ඊයේ (10)දා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයන්ට යොමු කිරීමත් අනතුරුව ඒ අතරින් 72 දෙනෙකු කෝවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන අත.මේ අතර කඳාන ආනියාකන්ද දිසා රෝහලට විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බාහිර රෝගීන් 38දෙනෙකු අහඹු රැපිඩි ඇන්ටිජන් පරීක්ෂවන්ට යොමු කිරීමේදී ඔවුන් අතරින් 19 දෙනෙකුම කෝවිඩ් ආසාදිතයන් බවට තහවුරු වූ බව ආනියාකන්ද දිසා රෝහල් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ධම්මික පෙරේරා මහතා පැවසීය. ආනියාකන්ද රෝහලේ පසුගියදා ආරම්භ කළ කෝවිඩ් වාට්ටු දෙකෙන් ඇඳන් 45කින් සමන්විත පිරමි වාට්ටුව මේ වනවිට ආසාදිතයන්ගෙන් සම්පූර්ණ වී අවසන් බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

පැල්මඩුල්ල

අළුත් අවුරුදු කොරෝනා පොකුණෙන් පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කෝවිඩ් ආසාදිතයින් 164 දෙනකු වාර්තා විම නිසා අවදානම් ලෙස හදුනා ගත් ග්‍රාම සේවා වසම් හයක් හුදෙකලා කරන ලෙස පැල්මඩුල්ල කෝවිඩ් මර්දන කමිටුව බලධාරින්ට ඊයේ (10දා) දැනුම්දී තිබේ.ඒ අනුව සන්නස්ගම, දොඹගස්වැන්න, ගොඩගම කට්ටංගේ අංක තුන පහල ලැයිම කොටස හුදෙකලා කිරීමට යෝජනා කර ඇති බව පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු ඊයේ (10දා) පැවසීය. පැල්මඩුල්ල නගරය හුදෙකලා කලයුතුද යන්න ගැන සාකච්ඡා කෙරෙන බව මහජන සෞඛ්‍ය අංශ පවසයි. කට්ටංගේ අංක තුන පහළ ලැයිම් කොටස ඊයේ පස්වරුවේ සිට සංචරණ සීමාවන් පනවා තිබේ.



දංකොටුව

දංකොටුව මැද කිරිමැටියාන ග්‍රාමයේ පසුගිය (02) පැවති විවාහ මංගල උත්සවයකින් අනතුරුව කෝවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගත් මනාල යුවළ ඇතුළු 08 දෙනෙකු ඊයේ (10දා) දක්වා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට කටයුතු කර නැතැයි එම ප්‍රදේශයේ පදිංචිකරුවෝ පවසති. මෙම මංගල උත්සවයට සහභාගි වූ පිරිසගෙන් පවුල් 40ක් දැනටමත් නිරෝධායනයට ලක් කර ඇති අතර තවත් පවුල් 30ක් ඊයේ (10දා) දක්වා නිරෝධායනය කිරීමට පියවර ගෙන නැති බවද ඔවුහු පවසති. බලධාරින්ගේ කඩිනම් අවධානය මෙම පිරිස් වෙත යොමු නොකළහොත් ඉදිරියේදී විවාහ මංගල උත්සවයට ගිය වැඩි පිරිසක් ආසාදිතයන් බවට පත්විය හැකි බවත් එම නිසා මේ පිළිබද වහා අවධානය යොමු කරන්නැයි ප්‍රදේශවාසීහු සොඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

බලන්ගොඩ

බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ සේවය කරන සොඛ්‍ය කාර්ය සහායකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (10දා) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. බලන්ගොඩ, විකියලි ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකුට මෙසේ වෛරසය ආසාදිත වී ඇත. බලංගොඩ මූලික රෝහලේ දී සිදු කළ ඇන්ටජින් පරික්ෂණයෙන් පසු ඔහුට වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ. මේ හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහල් පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.


පිළියන්දල

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ පිලියන්දලින් සහ කැස්බෑවෙන් කොරෝනා ආසාදිත 360 දෙනකු ඊයේ (10) දින පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලයේ දී හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පිරිස, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) දින පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලයේ දී හඳුනාගත් කොරෝනා රෝගීන් 755 දෙනා අතුරින් වැඩිම පිරිස බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

 ඒ අනුව, පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ පිළියන්දලින් 180 දෙනකු ද, කැස්බෑවෙන් 180 දෙනකු ද එසේ හඳුනාගෙන ඇත. එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වන්නේ කොළඹ මහ නගර සීමාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 131 ක් බවය.  කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගමින් 57 දෙනකුද, පාදුකෙන් 38 දෙනකුද, අවිස්සාවේලෙන් 28 දෙනකුද, මොරටුවෙන් 15 දෙනකුද, බොරලැස්ගමුවෙන් 12 දෙනකු ද, අතුරුගිරිය, වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් 10 දෙනකු බැගින් ද ආසාදිතයන් එම මධ්‍යස්ථානය පවසයි.

හදිසියේ මියගිය පිළියන්දල පොදු වෙළඳපොළේ පලතුරු ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දරු දෙදෙනකු ද පෙරේදා රාත්‍රී ලද වෛද්‍ය වාර්තාවලින් කොරෝනා වයිරසය ආසාදිතයන් බවට අනාවරණය වූ බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.


මදුරාවල

 මධුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු ඊයේ (10) දින කළුතර නාගොඩ රෝහල සහ හෝමාගම රෝහලේදී මියගොස් ඇතැයි මධුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. කළුතර නාගොඩ රෝහලේදී මෙසේ මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස් මාවත පදිංචි 96 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය පසුගිය 7 වැනිදා රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ.  හෝමාගම රෝහලේදී මියගොස් ඇත්තේ වරකාගොඩ නාහල්ල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයකු වන අතර ඔහු ද කොරෝනා රෝගය හේතුවෙන් මෙසේ මියගොස් ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක  නිලධාරි ඩී.එන්.එම්. දිහාන් මධුසංඛ මහතා පැවසීය.


දිවුලපිටිය

 කොරෝනා වයිරසය ආසාදිත රෝගීහු 140 දෙනකු දිවුලපිටිය සෞඛ්‍ය කොට්ඨාසයෙන් ඊයේ (10) වාර්තා වූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.යු.ටී. කුලතිලක මහතා පැවසීය.  කටුවැල්ලේගම පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් හා නැගෙනහිර කලුවරිප්පුව පිහිටි මත්ස්‍ය අපනයන ආයතනයක සේවක සේවිකාවන් විශාල පිරිසක් ආසාදිතයන් වශයෙන් හඳුනාගත් බව කුලතිලක මහතා පැවසීය.



කැකනදුර
මාතර කැකනදුර පරවාහැර ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක සේවයෙහි නිරත කළමනාකරුට සහ තවත් ස්ටකයකුට සහ එහි සේවය කළ සේක්විකාවකට ද කොරෝනා වෙරසය ආසාදනය වී ඇති අතර කළමනාකරුගේ නිවසෙහි සාමාජිකයන් දෙදෙනකුට ද වෙරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අග පැවසීය. පෙරේදා (09) වන දින මෙම උත්සව ශාලාවෙහි කළමනාකරුට සහ සේවකයන් දෙදෙනකුට
වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව කළමනාකරුගේ නිවැසියන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් පවුලේ සාමාජිකයන් දෙදෙනකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත. මෙදිනම ගන්දර පොලිස් වසමෙහි ගන්දර ප්‍රදේශයෙන් පුද්ගලයන් දෙදෙනකුට ද දෙවිනුවර ප්‍රදේශයේ තවත් එක් පුද්ගලයකුට ද කොවිච් 19 වෙරසය ආසාදිත බවට සෞබ අංශ විසින් සිදු කළ පරීක්ෂා කිරීම්වලදී හදුනාගෙන ඇත.


මීගමුව
මීගමුවේ (9දා) තවත් කොවිච් මරණයක් සිදුව ඇත. ප්‍රතිකාර සඳහා මීගමුව මහරෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය අය මීගමුව ශාන්ත ජෝසප් වීදියේ පදිංචි 68 හැවිරිදි පිරිමි අයෙකි. අවුරුදු පොකුරේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් ඇති බවත් අවුරුදු පොකුරේ මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇති බවත් මීගමුව ප්‍රධාන මහජන
සෞඛ්‍ය පරික්ෂක එන්. කේ.  කේ. ගුණරත්න මහතා පැවැසිය.

බියගම

බියගම පොලිස් බල ප්‍රදේශයේ ගතවු දින තුනට (7, 8 හා 9) තවත් තොරෝනා ආසාදිතයන් 12 දෙනකු හමු වී තිබේ. ඒ සමගම එම පොලිස් බල ප්‍රදේශයේ කොරෝනා තුන්වැනි රැල්ලේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යා ව 52 දක්වා වැඩි වී ඇත. එම නව කොරෝනා ආසාදිතයන් 12 දෙනා මේ වන විට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කර තිබේ.
තවද එම කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිත පුද්ගලයන් 167 දෙනකු සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ද යොමුකර ඇත. මේ අතර කොරෝනා ආසාදනය වී 66 හැවිරිදි දෙදරු පියකු මියගොස් තිබේ.


රඹුක්කන
රඹුක්කන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.


මිනුවන්ගොඩ
ශ්‍රී පාද වන්දනාවේ ගිය මුණුබුරා කොවිච් වෛරසය නිවසට රැගෙන ඒමෙන් අනතුරුව කොවිච් ආසාදිත වු 84 හැවිරිදි ආච්චිඅම්මා ඊයේ (10 වැනිදා) අලුයම නිවසේදී මියගොස් ඇතැයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍යය පරික එස්. ඒ. යු. ටී. කුලතිලක මහතා ඊයේ (10දා) පැවැසීය.  දිවුලපිටිය, කුලගෙදර, කරව ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි මාතාවක් මෙසේ මියගොස් තිබේ.
මියගිය කාන්තාවන්ගේ නිවසේ 05 දෙනකු ආසාදිතයන් වී සුවය ලබා ඇති බවත් ඉකුත් 26 වැනිදා ලද පී. සී. ආර්. පරික්‍ෂයේ ප්‍රතිඵලය අනුව ඇයට කොවිච් වෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබූ බවත් හෙතෙම පැවැසීය. මරණකාරිය වෙනත් රෝග තත්වයන්ගෙන්
පෙළීම හේත්තුවෙන් රෝහල්ගත කර නොතිබුණි. සෞඛ්‍ය නීතිවලට අනුකූලව ආදාහන කටයුතු සිදුකරන ලෙසට පවුලේ ඥාතීන්ට සෞඛ්‍ය අංශ මගින් උපදෙස් ලබාදුන් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කුලතිලක මහතා වැඩිදුරටත් කීය.

මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ පිහිටි මුඛ ආවරණ නිෂ්පාදන ආයතනය කෝවිඩ් ආසාදිතයන් 34 දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයන් 28දෙනෙකු ආසාදිතයන් බවට හඳුනා ගත් බවයටියන ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක කුමාරදාස මහතා ඊයේ (10දා) පැවසීය. පසුගිය 05වැනිදා සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේ ප්‍රතිඵල පෙරේදා (09දා) සවස හමුවීමෙන් අනතුරුව මෙම ආසාදිතයන් 28 දෙනා හඳුනා ගත් බවත්, මෙම ආසාදිතයත් 28 දෙනා පෙර ආසාදිතයන් 34 දෙනාගේ පවුලේ උදවිය බවත් හෙතෙම සඳහන් කළේය.

පානදුර ඇගලුම් කර්මාන්ත ශාලාව

පානදුර ප්‍රධාන පෙළේ ඇගලුම් කර්මාන්ත ගාලාවක 80 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසිය. එම ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකොට ඇති අතර 500 දෙනකුට පමණ පී.සී.ආර්. පරික්ෂණ සිදුකොට ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 65 දෙනකුගේ පී.සී.ආර්. පරික්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළ අතර ඒ අනුව එම කර්මාන්තශාලාව වසා දමනවා ද යන්න සම්බන්ධයෙන් අදාළ නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය. මෙයට පෙරද එම ඇඟලුම් කර්මාන්ත ශාලාව කොවිඩ් ආසාදිතයන් සිටීම නිසා වසා දැමූ ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් 135 දෙනෙකුට පෙරේදා (09දා)දින සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණවලින් 104 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසීය.

කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත් රැඳවූවන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පෙරේදා දිනයේම යොමුකළ බව එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් ඉකුත් 08 වැනි දින ආරම්භ කළ විරෝධතාව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය සමග කළ සාකච්ඡාවකින් අනතුරුව පෙරේදා (09දා) සවස අවසන් කළ බවද බන්ධනාගාර තොරතුරු වලින් පැවසේ. විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබන රැඳවූවන් වෙනම සිර මැදිරියක් තුළ රැඳවීමට කටයුතු කරන ලෙසත් ඇප දිය හැකි සිරකරුවන්ට හැකි ඉක්මනින් ඇප ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 12 තුළ නව කොවිඩ් ආසාදිතයන් 32 කු පෙරේදා(09දා) දිනය තුළදී හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

නුවරඑළියේ ඉරිදා පොළ

නුවරඑළිය නගරයේ පැරණි නගර සභා ශාලාව අසල පවත්වාගෙන යන ඉරිදා පොළ භුමියේ ව්‍යාපාර කටයුතු සිදු කරන ඇතැම් ව්‍යාපාරිකයන් සහ පොළ භුමියෙන් භාණ්ඩ මිල දී ගැනීමට පැමිණෙන ඇතැම් පරිභෝගිකයන් සෞඛ්‍ය මාර්ග උපදේශ නොපිළිපදිමින් කටයුතු කරන බව නුවරඑළිය ප්‍රදේශවාසීහු පවසති.

නුවරඑළිය මහ නගර සභාවේ අනුමැතියට යටත්ව නුවරඑළිය ඉරිදා පොළ පවත්වාගෙන යන අතර, එම පොළෙහි වෙළෙඳාම් කිරීම සඳහා නුවරඑළිය, වැලිමඩ, කැප්පටිපොළ යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් පැමිණෙන බවත්, එම පොළ භුමියෙන් භාණ්ඩ මිල දී ගැනීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ විශාල පිරිසක් පැමිණෙන බව පැවසේ. පුද්ගල දුරස්ථභාවය නොමැතිව සහ මුඛ ආවරණ නිසි ලෙස නොපැලඳ ඇතැම් ව්‍යාපාරිකයන් ව්‍යාපාර කටයුතු සිදු කරන බවත්, එම පොළ භුමියට පැමිණෙන පාරිභෝගිකයන්ද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන බවත්, එම පොළ භුමිය අධීක්ෂණය කිරීමට නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් නිසි වැඩපිළිවෙළක් යොදා නොමැති බවටද ප්‍රදේශවාසීහු පවසති.