ශ්‍රී ලංකාවේ සිදුව ඇති කෝවිඩ් මරණ විශ්ලේෂණය කර බැලීමේදී අදාළ පුද්ගලයන්ගෙන් 48%ක් දියවැඩියා රෝගීන් වන බවත්, එසේම 40%ක ප්‍රමාණයක් අධික රුධිර පීඩනයෙන් යුක්ත වූවන් වන බවත් කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා පෙන්වා දුන්නේ දියවැඩියාව, තරබාරුව.සහ අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග ඇති පුද්ගයෙකුට කෝවිඩ්-19 ආසාදනය වුවහොත් ඇති විය හැකි සංකුලතා සහ මරණයට පත්විය හැකි ප්‍රවණතාව සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව කිහිප ගුණයකින් වැඩි වන බවයි.
ඒ අනුව උද්ගතව ඇති තත්වය තුළ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන් තම ප්‍රතිකාර අඛණ්ඩව ලබාගනිමින් වඩාත් තම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගත යුතු බව ඒ මහතා අවධාරණය කළේය.ම

ේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කළ විශේෂඥ වෛද්‍යවරයා,

"පසුගිය කෝවිඩ් මරණ 593 මම විශ්ලේෂණය කර දත්ත බැලුවා. ඉන් 48%ක් දියවැඩියා රෝගීන්, 40%කට පමණ අධික රුධිර පීඩනය තිබෙනවා. මේ කියන්නේ බෝ නොවන රෝග කෝවිඩ් වසංගතය පැමිණීමට පෙර ලංකාවේ තිබුණු එකම වසංගතය තමයි බෝ නොවන රෝග කියන වසංගතය.මෙතන දැන් වසංගත 02ක හැපීමක් අපිට දකින්නට ලැබෙනවා.අනෙකුත් රටවල දත්ත අනුව අපි දකිනවා දියවැඩියාව, තරබාරුකම, අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට සහ අනෙකුත් බෝ නොවන රෝග ඇති අයට කෝවිඩ් වෛරසය ආසාදනය වුවහොත් ඇති විය හැකි සංකූලතා සහ මරණයට පත්විය හැකි ප්‍රවණතාව සාමාන්‍ය පුද්ගයෙකුට සාපේක්ෂව කිහිප ගුණයකින් වැඩි වෙනවා කියලා.

ඒ නිසා මේ අවස්ථාවේදී බෝ නොවන රෝග ඇති රෝගීන් අතපසු කර ගැනීමකින් තොරව තමන්ගේ රෝගය හොඳින් පාලනය කරගත යුතුයි. නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් තමාගේ සෞඛ්‍ය ආරක්ෂාව තමන් විසින් නිරන්තරයෙන් සලස්වා ගත යුතුයි” යනුවෙන් සඳහන් කළේය.

 (නිදර්ශනී වික්‍රමසිංහ)