chandima-jeewandara-speaks

විශේෂ වයිරස ප‍්‍රභේද ගැන  පරීක්ෂණ පවත්වන  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා  අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දීම ජීවන්දර මහතා කොවිඩ් රෝගයෙන් බේරීම සඳහා අනුගමනය කළ හැකි  වඩාත් ප්‍රතිඵලදායි ක්‍රම හයක්  ජනතාවට හඳුන්වා දෙයි.  කොරෝනා මර්දන එන්නතක් ලැබෙනවා නම් එය ලැබෙන මුල් අවස්ථාවේදීම ලබා ගැනීම, මුව ආවරණ නිවැරදිව පැළඳීම,  පුද්ගලයන් අතර අඩි හයක පරතරයක් තබා ගැනීම, දෑත් සබන් යොදා නිවැරදිව සේදීම සහ විෂබීජ නාශක දියරවලින් සේදීම, සෙනඟ විශාල වශයෙන් රැස්වන ස්ථානවලට නොයෑම සහ අත්‍යවශ්‍යම කාරණයකට එසේ යෑමට සිදුවුවහොත් මිනිත්තු 15 කට පෙර එම ස්ථානවලින් පිටවීමට වග බලා ගැනීම, තමන්ට යම්කිසි සැක සහිත රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින්ම පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුවීම හා පවුලේ සාමාජිකයන්ගෙන් ඈත්ව කටයුතු කිරීම එම ක්‍රම හය බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසිය.





දැනට තිෙබන සියලු ඒන්නත්  ඉතාම හොඳ බවත් රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධානම මෙවලම එන්නත් බවත් ඔහු ප්‍රකාශ කළේය. එන්නත් සම්බන්ධයෙන් විවිධ කරුණු විමසා ජනතාවගෙන් තම අධ්‍යයන අංශයට දුරකථන ඇමතුම් හාරසියයක් පමණ දිනකට ලැබෙන බව කී ජීවන්දර මහතා ලැබෙන කුමන හෝ එන්නතක් වුව හැකි ඉක්මනින් ලබා ගැනීම ඉතා සුදුසුම ක්‍රියාමාර්ගය බව ඒ හැම කෙනකුටම ලබාදෙන උපදෙස බව පැවසුවේය. ඉදිරි මාසය ඉතාම තීරණාත්මක බවත්  අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිම කාරණයකට නිවෙස්වලින් පිටවීම නොකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.


‘එක එක එන්නත් ගැන විමසමින් ඒවා  එනකම් ඉන්න එපා. ලැබිලා තියෙන එන්නත ඉක්මනට ගහගන්න. එහෙම නොකළහොත් ඔබගේ ජීවිතය නැතිවෙන්න වුණත් පුළුවන්.” ජීවන්දර මහතා අවධාරණය කළේය. උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව සහ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත් මෙවැනි සැක සහිත ලක්ෂණ තිබේ නම්  වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බවත් හෙතෙම කීවේය.


 -සුජිත් හේවාපුලිගේ-