ලෝකයේ ධනවත්ම සැමියා හා ධනවත්ම බිරිය ලෙස දිගු කලක් ප්‍රසිද්ධව සිටි වින්ඩෝස් නිර්මාතෘ බිල් ගේට්ස් (65) හා ඔහුගේ බිරිය මෙලින්ඩා (56) දික්කසාදවී වෙන්නට තීරණය කර තිබේ.
බිල් සහ මෙලින්ඩා ගේට්ස් විවාහයෙන් වසර 27 කට පසු දික්කසාදය ප්‍රකාශයට පත් කර ඇති අතර ඔවුන් දෙන්නාම එක්ව තමතමන්ගෙ ට්විටර් ගිණුම්වල මේ බව පාඨකයින් දැනුවත් කර ඇත්තේ “අපට යුවළක් ලෙස එකට සිටිය හැකි යැයි අපි තවදුරටත් විශ්වාස නොකරමු.
අපගේ සම්බන්ධතාවය පිළිබඳ විශාල ලෙස සිතා බලා, අපගේ විවාහය අවසන් කිරීමට අපි තීරණය කර ඇත්තෙමු" යනුවෙනි.
 1980 දශකයේ බිල් ගේට්ස්ගේ මයික්‍රොසොෆ්ට් සමාගමට සම්බන්ධ වූ අවස්ථාවේදී මෙලින්ඩා ඔහුට මුණගැසුණි.
ප්‍රකෝටිපති යුවළට දරුවන් තිදෙනෙකු සිටින අතර ‘බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස්‘ යනුවෙන් ලෝකයට සහනාධාර ලබාදීමේ පදනමක්ද ඔවුන් ඒකාබද්ධව පවත්වාගෙන යන ලදි.
බෝවන රෝග සහ ළමුන් සඳහා එන්නත් කිරීම දිරිගැන්වීම වැනි ව්‍යාපෘතිවෙනුවෙන් මෙම සංවිධානය බිලියන ගණනක් වියදම් කර ඇත.


කාලයක් ලෝකයේ අංක එකේ ධනවතා වූ බිල් ගේට්ස් දැන් සිටින්නේ 4 වෙනි තැනයි. ඔහුගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 124 කි.
ලොව විශාලතම මෘදුකාංග සමාගම වන මයික්‍රොසොෆ්ට් සමාගම 1970 ගණන්වලදී ඔහු විසින් ආරම්භ කර මෙලෙස මුදල් උපයා ගත්තේය.‍

මේ වන විට 56 හැවිරිදි මෙලින්ඩා 1987 දී මයික්‍රොසොෆ්ට් හි නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස සම්බන්ධ වූ අවස්ථාවක දෙන්නා මුල්වරට මුණගැසී තිබේ.දෙදෙනාම එම වසරේ නිව්යෝක්හි ව්‍යාපාරික රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීමෙන් පසු පෙම් සබඳතා ආරම්භ කළ නමුත් බිල් නෙට්ෆ්ලික්ස් වාර්තා චිත්‍රපටයකට පවසා තිබුනේ: "අපි එකිනෙකා ගැන බොහෝ දේ සැලකිලිමත් වූ නමුත් ඇත්තටම එම හමුවේදී සිදුවන්නට ගියේ සිදුවීම් දෙකක් පමණි: එක්කෝ අපි වෙන්වීමට හෝ අපි විවාහ වීමට යන්නෙමු යන්න පමණි"
මෙලින්ඩා පැවසුවේ “විවාහ වීමේ වාසි සහ අවාසි තිබුණ බවත් හදවතින් ළං නොවී විවාහය සිදුවූ බවයි”
ඔවුන් 1994 දී හවායි දූපතේ ලනායි හිදී විවාහ වූ අවස්ථාවේදී එය නරඹන්නට පිටස්තර අමුත්තන් පියාසර කිරීම නැවැත්වීම සඳහා දූපතට අයත්ව තිබූ සියලුම දේශීය හෙලිකොප්ටර් යානා කුලියට ගත් බවද වාර්තා විය.


65 හැවිරිදි බිල් සිය ජනතා ආධාර ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා පසුගිය වසරේ මයික්‍රොසොෆ්ට් මණ්ඩලයෙන් ඉවත් විය.
ඔවුන් දෙන්නා අතර ව්‍යාපාරික ගැටලු පැවති බවටද වාර්තා පැවතිණි.
ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත 2019 දී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙලින්ඩා පැවසුවේ “බිල් සහ මම සමාන හවුල්කරුවන්” බවයි. “රැකියාවේදී පුරුෂයින් හා ස්ත්‍රීන් සමාන විය යුතුයි.” ඇය තවත් වරෙක පවසා තිබුණි.
මෙලින්ඩා විවාහ ජීවිතය ගැන පොතක්ද ලියා තිබේ. ඇයගේ මෑත කාලීන මතක සටහන් වන The Moment of Lift හි, ප්‍රසිද්ධ චරිතයක බිරිඳ ලෙස ඇගේ ළමා කාලය, ජීවිතය සහ පෞද්ගලික අරගල ගැනත්, දරුවන් තිදෙනෙකු සමඟ නිවසේ රැඳී සිටින මවක් ගැනත් ලියා තිබේ.
 මෙම දික්කසාදය නිසා මෙලින්ඩාට විශාල වන්දියක්  හිමිවනු ඇතැයි වාර්තා පළවේ.