al-commerce-first

පසුගිය 2020 වර්ෂයේ පැවැති අ.පො.ස. උසස් පෙළ විභාගයේ වාණිජ්‍ය අංශයේ නව නිර්දේශය යටතේ විභාගයට පෙනීසිටි දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ අමන්දි ඉමාෂා මදනායක සිසුවිය සමත් වූවාය.  ඇය ගිණුම්කරණය, ව්‍යාපාරයට අධ්‍යයනය හා තොරතුරු තාක්ෂණය යන විෂයයන් සඳහා වාණිජ්‍යය අංශයේ උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර විෂයයන් තුනට විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව සිටින්නීය.ඉමදුව පදිංචි අමන්දිගේ පියා විශ්‍රාමික පරිපාලන ග්‍රාම නිලධාරිවරයකු ලෙස සේවය කර ඇති අතර මව මේ වන විටත් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරිවරියක ලෙස සේවය කරයි. අමන්දිට වැඩිමහල් සහෝදරයා මේ වන විට උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටී.සිය ජයග්‍රහණයේ සතුට අමන්දි වචනවලට පෙරළුවේ මේ අයුරෙනි.

''ඇත්තටම මට හරි සතුටුයි. ඒක කියා ගන්න බෑ. මෙහිදී මුලින්ම මම මගේ මවුපියන්ට ස්තූතිවන්ත වෙනවා. ඊට පසේ මගේ පාසල් මාතාවට.සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු මට අකුරු කරපු සියලු දෙනාට මේ ජයග්‍රහණය මා පුද කරනවා. එසේම මගේ උපකාරක පත්ති ගුරුවරුන්ටත් මම පුද කරනවා. මම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙනුත් පාසලට විශේෂ ජයග්‍රහණයක් ලබා දෙන්න සමත් වුණා. ඇත්තටම මට ඒ ගැන සතුටුයි. මම පාසලේ බාහිර වැඩ කටයුතු කළා. ඒ සියලු වැඩ කරද්දී මම ඉගෙනීම් කටයුතු කළා. පොත පත විතරක් නොවෙයි අනිත් බාහිර වැඩවලිනුත් පන්නරය ලබාගෙන තමන්ගේ ගමන අධිෂ්ඨානයක් තියාගෙන වැඩ කටයුතු කරන්නේ නම්, අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා යාමට පුළුවන්.”

මෙවර වාණිජ්‍ය අංශයෙන් ප්‍රථමයා වූ අමන්දිගේ අනාගත බලාපොරොත්තුව ලෙස ඇය සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වීම යන්නයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනි චාන්දනී උඩකුඹුර මහත්මිය මෙසේ කීවාය. අප පාසල මේ වන විට ජාතික තලයේ ප්‍රතිඵල පසුගිය කාලය පුරාම ලබා ගැනීමට සමත් වුණා. පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබා ගත් සිසුවිය සංඝමිත්තා විද්‍යාලයෙන් බිහි වුණේ. ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ්‍ය අංශයේ ප්‍රථමයා ද සංඝමිත්තාවක් වීම ගැන ආඩම්බර වෙනවා. මේ කටයුතු කිරීමේදී සහය දක්වන ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි සිසුවියන් ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.

(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)