weligama-post-office

වැලිගම ප්‍රධාන තැපල් කාර්යාලය මඟින් බෙදීමට නියමිතව තිබූ විදුලි පණිවුඩ සියයක් පමණ අඩංගු ෂොපින්
බෑගයක් වැලිගම, පිටිදුව ප්‍රදේශයේ වෙල්යායක වැටී තිබී ප්‍රදේශවාසීන් සොයාගෙන තිබේ.   අනතුරුව
වැලිගම තැපැල් කාර්යාලයට දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර
ඇතැයි උසස් නිලධාරියෙක් ‘මව්බිම’ ට පැවැසීය.  වැලිගම රාජ්‍ය ආයතන කිහිපයකට බෙදීමට නියමිත
විදුලි පණිවුඩ  (ටෙලිග්‍රෑම්)  මෙහි තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. වැලිගම, පිටිදුව ප්‍රදේශයේ
කුඹුරක් අසලට නිරතුරුවම කැළිකසළ දමා යන බවට එම කුඹුරු හිමියන්ගෙන් චෝදනා එල්ලවන අතර එම
කැළිකසළ සුළඟට ගසා ගොස් කුඹුරුවලට වැටීම නිසා එම කුඹුරු හිමියන් මහත් පීඩාවකට පත් වේ.



මේ පිළිබඳව තල්අරඹ ගොවිජන සේවා මධ්‍යස්ථානයටද පැමිණිලි කළ බවත් කුඹුරු හිමියෝ පවසති. මේ
හේතුව නිසා කුඹුරු හිමියන් නිතර නිතර කුඹුරුවල ඇති කසළ ඉවත් කරන අතර එම අවස්ථාවේදී මෙම විදුලි
පුවත් රාශියක් සහිත ෂොපින් බෑගය හමු වී තිබේ. මෙය කුමන හේතුවක් මත මෙම ස්ථානයට රැගෙන ආවේද
යන්න අබිරහසකි. යතුරුපැදියෙන් ලියුම් බෙදීමේදී මෙය මාර්ගයට වැටී කුඹුරට විසි වී ගියේද නැතහොත්
 කිසිවකු විසින් ලියුම් බෙදුම්කරු අපහසුවට පත් කිරීමට මෙය මෙලෙස දමා ගියේද යන්න සැක සහිත බව එම
උසස් නිලධාරියා පැවැසීය.

වැලිගම තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති වරයාගෙන් මේ පිළිබඳව විමසා සිටි  අවස්ථාවේ  ඔහු කියා
සිටියේ මේ වනවිට උක්ත කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස්
පළ කිරීමට නොහැකි බවත්ය.



මාතර - උදය කුමාර රණවීර, වැලිගම නුවන්