hot-water-kandaketiya

තම වයෝවෘද්ධ පියාට කඩුවකින් කෙටීමට ගිය පුතකු එම කඩුවද සමඟ පෙරේදා (17දා) සවස සැකපිට
අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය, පරණ මහියංගණ පාර පදිංචි වයස අවුරුදු 28ක තරුණයෙකි.

ඉඩම් ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බවත් තම වැඩිමහල් සහෝදරයා කඩුවක් ද රැගෙන පියාට
කෙටීමට ඔහු පසුපසින් පන්නද්දී එය දුටු ඔහුගේම බාල සහෝදරයකු උණුවතුර ප්‍රහාරයක් එල්ල කර එම
පහරදීම වළක්වා ගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය වූ බව කන්දකැටිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.



සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඔවුන්ගේ පියාට අයිති ඉඩමෙන් කොටසක් තමන්ට ලබාදෙන ලෙස නිරන්තරයෙන්
ඇවිටිලි කර ඇති අතර පසුගිය දිනෙක බීමත්ව කඩුවක්ද රැගෙන පැමිණි ඔහු නිවෙසේ ජනේලයකට පහරදී
අනතුරුව තම පියාට කෙටීම සඳහා ඔහු පසුපස පන්නාගොස් ඇත.

එහිදී දිවයමින් සිටි එම වයෝවෘද්ධ පුද්ගලයා බිම ඇද වැටී ඇති අතර ඔහු පසුපසින් උණු වතුර බදුනක්
රැගෙන පැමිණි ඔහුගේ තවත් දරුවකු පියාට කෙටීමට තැත් කරන වැඩිමහල් පුත්‍රයාට උණුවතුර
ප්‍රහාරයක් එල්ල කර ඇත.

උණුවතුර ප්‍රහාරයත් සමඟම දැඩි ලෙස පිලිස්සුම් තුවාල ලැබූ ඔහු පියාට කෙටීම අත්හැර පැනගොස් ඇති
අතර සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු ඔහු සතුව තිබූ කඩුවද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

 සැකකරු බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කන්දකැටිය පොලිසිය වැඩිදුර

පරීක්ෂණ පවත්වයි.


මීගහකිවුල _ රුවන් කුමාර