කොළඹ කොටුවේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශය සහ පොලිස් මූලස්ථානය එම ස්ථානවලින් ඉවත්කර වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි. කොළඹ වාණිජ දිස්ත්‍රික්කය ප්‍රධාන වෙනස්කම් රැසකට බඳුන් කෙරෙන අතර ඒ යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ පොලිස් මූලස්ථානය එම ස්ථානවලින් ඉවත් කෙරෙන බවද එම ගොඩනැගිලි සංචාරක ආයතන බවට පත්කරන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් නිමල් පෙරේරා මහතා කීය.

කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ නව නගරය බවට පත් කෙරෙන අතර කොළඹ නගරය පෞරාණික නගරයක් බවට පරිවර්තනය කරන බවද ලේකම්වරයා පැවසීය. කොළඹ කොටුවේ සහ පිටකොටුවේ පිහිටි වසර 150 ක් පැරැණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර ආකර්ෂණය දිනා ගන්නා අයුරින් සකස් කරන බවද ඔහු කීවේය.



කොළඹ කොටුවේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ බෞද්ධාලෝක මාවතේ කාර්මික තාක්ෂණික ආයතනය පිහිටි පරිශ්‍රයට ගෙන යන අතර කාර්මික තාක්ෂණ ආයතනය මාලබේ නගරයේ ස්ථාපිත කරන බවද නාගරික සංවර්ධනය හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

පොලිස් මූලස්ථානය රත්මලාන අත්තිඩියේ පිහිටි ඉඩකඩ සහිත ස්ථානයකට රැගෙනයාමටද සැලසුම්කර ඇතැයි ඔහු සඳහන් කළේය. කොළඹ කොටුවේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල තේ කෞතුකාගාරයක් බවට සකස්කරන බවද ඔහු පැවසීය. කොළඔ නගරය සංවර්ධනය කිරීම 2010 වසරේදී ආරම්භ කළ අතර එහි කටයුතු 2015 වසරේදී නතර කළ බවද එය නැවත ආරම්භ වී ඇතැයිද පෙරේරා මහතා කීය. ඒ අනුව කොළඹ කොටුවේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ල රුපියල් කෝටි 300 ක පමණ වියදමකින් සංවර්ධනය කර තිබෙන අතර එම ගොඩනැගිල්ල තට්ටු තුනකින් යුත් හෝටලයක් බවට පරිවර්තනය කෙරෙන බවද ඔහු කීය. එහි කටයුතු දෙසැම්බර් මාසයේදී නිම කිරීමට නියමිතය. වසර 183 ක් පැරැණි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය රුපියල් කෝටි 25 ක පමණ වියදමකින් පිළිසකර කර වෝටර්ස් එජ් හෝටලයට පවරාදුන් බවද ලේකම්වරයා කීය.තවද ශාන්ත ජෝන් මාළු වෙළඳපොළ පිහිටි ස්ථානයේ ස්ථාපිත "ගෝල්ඩ් සෙන්ටර්" පරිශ්‍රය තවදුරටත් සංවර්ධනය කර මැණික් වෙළෙඳ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බවද ඔහු පැවසීය.

විශේෂයෙන් ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද ඔහු කීය. කොළඹ කොටුවේ පිහිටි මහ තැපැල් කන්තෝරු ගොඩනැගිල්ලද පිළිසකර කිරීමට නියමිතය. පොලිස් මූලස්ථානය ඉදිරිපිට ඇති මාර්ගය දෙපස අවන්හල් සහ කුඩාරම් ඉදිකරන අතර පාගමනින් පමණක් යා හැකි මාර්ග සකස් කර සංචාරකයන් වෙනුවෙන් විවෘත කරන බවද ඔහු කීවේය. සංචාරක නෞකාවලින් කොළඹ වරායට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය  දිනාගැනීම එහි අරමුණ වේ. කොළඹ නගරය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථානයක් බවට පරිවර්තනය කිරීමෙන් පසුව එහි ආයෝජනය කිරීමට ආයෝජකයන්ට ආරාධනා කරන බවද එම ආයෝජන රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත බවද නිමල් පෙරේරා මහතා කීය. කොළඹ ශ්‍රාවස්ති මන්දිරය සම්මන්ත්‍රණ ශාලාවක් ලෙස සංවර්ධනය කෙරෙන අතර කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවත සංචාරක ප්‍රදේශයක් ලෙස ස්ථාපිත කෙරේ. මේ අතර වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන යන බවද වැලිකඩ පිහිටි අක්කර 40 ක භූමි ප්‍රදේශය වාණිජ කටයුතුවලට යොදාගන්නා බවද ලේකම්වරයා පැවසීය.

 (සන්ඩේ ටයිමිස්)