nurses-covid-sri-lanka

හෙද හෙදියන් විසිපස්දෙනෙකුට ඊයේ (28)දා දිනය වනවිට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙන බවත්, මීට අමතරව හෙද හෙදියන් හා සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසක් නිරෝධායනයට ලක් කර සිටින බවත් සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි. 

රෝගී සත්කාර සේවාවල නිරත වන හෙද හෙදියන්ට හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට කෝවිඩ්-19 ආරක්‍ෂ වීමට අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම්, අත්මේස්, මුහුණු ආවරණ ප්‍රමාණවත් තරම් නොලැබෙන බවද එම සංගමයේ සභාපති හෙද නිලධාරී එස්.බී. මැදිවත්ත මහතා පැවසීය. 



මීට පෙර අවස්ථා දෙකේදී කෝවිඩ් 19 රෝගීන් වාර්තා වී ටික කාලයකට පසු හෙද කාර්යමණ්ඩල හා සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසකට කෝවිඩ්-19 ආසාදනය වූ බවත්, එහෙත් මෙවර රෝගීන් වාර්තා වීමත් සමග හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල තුළින්ද කෝවිඩ්-19 රෝගීන් වාර්තා වූ බවත් ඒ මහතා පවසා සිටියේය. කොළඹ ඇතුළු ප්‍රධාන රෝහල් සැලකීමේදී හෙද හෙදියන්ට නිසි ලෙස නවාතැන් පහසුකම් ලබාදී නොමැති බවත්, මේ නිසා හෙද හෙදියන් කිහිපදෙනෙකුට කුඩා කාමර තුළ නවාතැන් ගෙන සිටින බවත් හෙතෙම සඳහන් කළේය.පවතින තත්වය තුළ විශාල පිරිසක් එක් ස්ථානයක රැඳී සිටීම තුළින් එම සියලුම දෙනාටම කෝවිඩ් 19 ආසාදනය වීමේ අවදානමක්ද තිබෙන බවද පවසා සිටියේය. 



වාර්ෂික ස්ථාන මාරු මේ දිනවල සිදුවෙමින් තිබෙන බවත් මේ අනුව කොළඹ ජාතික රෝහල තුළ සේවය කරන හෙද හෙදියන් දෙසිය පනහක් (250) ඊයේ ස්ථානමාරු ලබාගෙන යාමට නියමිතව සිටියත් පෙරේදා (27දා) දිනයේදී ක්ණිකව ස්ථානමාරු අවලංගු කල බවද කියා සිටියේ. මෙම ස්ථානමාරුවලට අදාළව හෙද හෙදියන් තුන්සිය අසූඑකක් (381) ජාතික රෝහලට පැමිණ සිටියේදී ස්ථානමාරු අවලංගු කළ බවත් මෙය දැඩි අසාධාරණ ක්‍රියාවක් බවද සඳහන් කළේය. මේ ආකාරයට බලධාරීන් හෙද හෙදියන් දිගින් දිගටම අපහසුතාවයන්ට පත්වන වැඩ කටයුතු සිදුකරන බවත් මෙම නිසා කඩිනමින් නවතා දැමීමට කටයුතු නොකළහොත් එයට එරෙහිව ඉදිරි දින කිහිපය තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද පවසා සිටියේය.

 (එච්.අයි. තුෂාර)