
තමාගේ ආබාධිත කකුල සුවකර, දේව වරමක් ලබා දෙනවැයි කියා රුපියල් 50,000 ක් ලබාගෙන ඒවා ඉටු කළේ නැතැයි කියන සිද්ධියක් සම්බන්ධ පැමිණිල්ලක් මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශෙ පොලිස් පරීක්ෂක ජේ.එම්. රෝහණ මහතා ඉදිරියේදී ඉකුන්දා විභාගයට ගැනුණි. වාර්තා වන අන්දමට කරුණු මෙසේය. මෙම සිද්ධියට සම්බන්ධ පැමිණිලිකාර කාන්තාව ඇතුළු චූදිත කාන්තාවෝ දෙදෙනා මීගමුව වැල්ලවීදිය කුඩුපාඩුව ගම්මානවල පදිංචිකරුවෝය. පැමිණිලිකාරිය වැල්ලවීදිය ග්‍රාමයේය.
ඇගේ ආබාධිත කකුල තරමක් කෙටිය, එසේම දේව වරමක් බලාපොරොත්තුවෙන් ඇය සිට ඇති බව පැවැසේ. කුඩුපාඩුව ගම්මානය තුළ දේව වරමින් සාත්තර කියන කාන්තාවක් සිටින බවත්, ඇයට ලෙඩුන් සුව කිරීම මෙන්ම දේව වරම් ලබාදීමට පුළුවන් බවත් කියමින් ප්‍රදේශයේ සමාජ සේවිකාවක වශයෙන් ප්‍රසිද්ධ කාන්තාවක් ඉදිරිපත්වී තිබේ. පැමිණිලිකාර කාන්තාව තමාගේ ආබාධය සුව කර ගැනීමට සහ දේව වරමක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ශාස්ත්‍ර කියන කාන්තාවට සමාජ සේවිකාව මාර්ගයෙන් තමාගේ බැංකු ගිණුමේ තිබූ අවසාන රු. 50,000 ලබාගෙන එය පඬුරු වශයෙන් දුන් බව පැමිණිල්ලේ සඳහන් වේ.
දින සති මාස වශයෙන් ගෙවී ගියද පැමිණිලිකාරියට තමාගේ බලාපොරොත්තු ඉටු නොවීම නිසා පොලිසියේ පිහිට පැතීමට සිදුවිය. ශාස්ත්‍ර කියන කාන්තාව තමා රුපියල් 50,000 ක් පැමිණිලිකාර කාන්තාවගෙන් ලබාගත් බවත්, එම පොරොන්දු ඉටුකිරීමට නොහැකි වූයේ මේ වනවිට මිනිසුන් විවිධ අපරාධ සිදු කරමින් දෙවියන් කෝප කර සිටීම නිසා බවත් පොලීසියට පවසා තිබේ. මේ අවස්ථාවේ සාත්තර කියන කාන්තාව තමා ලබාගත් රුපියල් 30,000ක මුදල ද සමාජ සේවිකාව ලබාගත් රුපියල් 20,000ක මුදල ද පැමිණිලිකාර කාන්තාවට ගෙවීමට එකග වී සිද්ධිය සමථයකට පත්වූ බව පොලිසිය කියයි.
(කොච්චිකඩේ වාර්තාකරු)
Comments
Post a Comment
Your comment will be visible after approval