negombo-incident

වයස අවුරුදු 18 ක තරුණියකට පහර දී කාන්තා හිංසනයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා ඉකුත් 5 වැනිදා නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දෙවලපොළ, ඥානාවාස මාවත, දිවුලපිටිය පදිංචි සුජීව සම්පත් නමැත්තෙකි. 

පැමිණිලිකාරියගේ පාර්ශ්වය හා සැකකරුගේ පාර්ශ්වය අසල්වැසියන්ය.

දෙපාර්ශ්වය අතර කලක සිට ආරවුල් ඇති වී පැමිණිලි ලැබී තිබෙන බව දිවුලපිටිය පොලිසිය කියයි. පසුගිය 4 වැනිදා සවස මෙම තරුණිය තවත් අය සමග සෙල්ලම් කර නිවස බලා පැමිණෙමින් සිටිය දී සැකකරු ත්‍රීරෝද රථයකින් පැමිණ මොවුන්ගේ මග හරස් කොට තරුණියගේ අතින් ඇද පහර දී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

පසුව පැමිණිලිකාරියගේ සහෝදරයකු තවත් පිරිසක් සමග සැකකරුගේ නිවෙසට ගොස් ඔහුට පහර දී තුවාල සිදු කිරීම නිසා සැකකරු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ. මෙම පසුව මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා 5 වැනිදා මීගමුව රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබන සැකකරුගෙන් ප්‍රකාශ ලබාගෙන පොලිස් විමර්ශන විමසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

 (කොච්චිකඩේ වාර්තාකරු)