• නදීෂා හේමමාලි කාලෙකට පස්සේ ටෙලි නාට්‍යයක් භාරගෙන තිබෙනවා නේද?
 
 මුලින්ම කියන්න ඕනෑ කාලෙකට පස්සේ තමයි පත්තරයකට ඉන්ටවිව් එකක් දෙන්නේ. ඇත්තටම මම අවුරුදු දෙකක තුනක නිහැඬියාවකින් පසුව තමයි ටෙලි නිර්මාණයකට දායක වෙන්නේ.
 
 • කාගෙද මේ ටෙලි නිර්මාණය?
 
 ජගත් මනුවර්ණගේ. ඔහු අධ්‍යක්‍ෂණයෙන් දායක වුණු පළමු ටෙලි නිර්මාණය තමයි කොඩිගහයට කියන්නේ. ඇත්තටම ඒක හොඳ කතා පුවතක්. ඒ කතාවට මම ගොඩක් කැමතියි. සතුටුවෙන්න පුළුවන් තිරපිටපතක් ලැබුණු හින්දා මම මේ වැඬේ භාර ගත්තා.
 
 • පිටපතට කැමැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?
 
 ජගත් මනුවර්ණ සමග වැඩක් කරන්න ආසාවෙන් හිටියේ. මේක ඔහුගේ කුළුඳුල් අධ්‍යක්‍ෂණය.

 


• ඔබට රඟපාන්න තියෙන්නේ මොනවගේ චරිතයක්ද?
 
 එක්දරු මවකගේ චරිතයක් තමයි මට රඟපාන්න තියෙන්නේ. වැඩි විස්තර ටෙලි නාට්‍ය විකාශනය වෙනකොට මම කියන්නම්. දැන්ම ඒ කතාව කිව්වොත් මිනිස්සුන්ට කුතුහලය නැතිවෙලා. යනවානේ. ඇය පැල්පත් නිවසක ජීවත්වන අනියම් සම්බන්ධයකුත් පවත්වන ගැහැණියක්. වර්තමාන සමාජයේ ජීවත් වන කාන්තාවකගේ චරිතයක් තමයි නිරූපණය කරන්නේ.
 
 • නදීෂාට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද?
 
 ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. නමුත් මම නිර්මාණ තෝරා බේරාගෙන තමයි භාර ගත්තේ. දැන් කාලේ නිර්මාණ කියන ඒවා හොයා ගන්න හරි අමාරුයි.
 
 • හේතුව?
 
 නාට්‍ය හුඟක්ම නිර්මාණය කරන්නේ ලාභ පරමාර්ථය පෙරදැරි කරගෙනමයි. කලාත්මක නිර්මාණ දැක ගන්න හම්බවෙන්නේම නැහැ. ඒ වගේ නිර්මාණවලට දායක වෙන්න අපහසුයි. මම බලාපොරොත්තු වෙන ගුණාත්මක මට්ටමක් තියෙනවා. මම ඒ ගැන සතුටුවෙන්න පුළුවන්නම් විතරයි නිර්මාණයක් භාර ගන්නේ.
 
 • කාලෙකට පස්සේ තමයි පත්තරයකට
 
 කතා කරන්නේ ඇයි මේ?
 
 ඔව්. පසුකාලයේ මම ගොඩක් පුවත්පත්වල හිටියා. ඒ බොහොමයක් පුවත්වල පළ වුණේ මම කියන සත්‍ය තොරතුරු නෙමෙයි.
 
 මම කියන දේ නෙමෙයි පත්තරවල යන්නේ. තේරුමක් නැහැනේ පත්තරවලට ඉන්ටර්විව් දීලා. මගේ කලා ජීවිතයේ වගේම මගේ සත්‍ය තොරතුරු මගේ ෆේස්බුක් ගිණුම හරහාද ඉන්ස්ටර් ග‍්‍රෑම් ගිනුම හරහාද ලබාදෙන්න පුළුවන්. ඒක නිසයි මම මාධ්‍යයෙන් ඈත්වෙලා හිටියේ.
 
 • මාධ්‍යයෙන් නදීෂා හේමමාලි කියන රංගන ශිල්පිනියට අසාධාරණයක් සිද්ධවෙලා තියෙනවාද?
 
 අනිවාර්යයෙන්ම මට පැහැදිලිවම අසාධාරණයක් සිද්ධවෙලා තියෙනවා. මේ වෙනකොට මම සජීවී සම්මුඛ සාකච්ඡුාවලට විතරයි සම්බන්ධ වෙන්නේ.
 


;• ඇයි ඒ?
 
 ඔවුන්ට එතකොට මම කියන දේවල් සංස්කරණය කරන්න බැහැනේ.
 
 • පත්තර නළු නිළියන්ගේ කුණු අවුස්සනවා
 
 කියලද කියන්නේ?
 
 ඇත්ත. මම හිතන්නේ නිර්මාණකරුවෙක් සමග කතා කරන්න ඕනෑ. ඔවුන්ගේ නිර්මාණකරණය ගැන විතරයි. ඔවුන්ගේ අනවශ්‍ය තොරතුරු කතා කරන්න වුවමනා නැහැ.
 
 මම හිතන්නේ පුවත්පතක් හෝ යම්කිසි මාධ්‍යයක් ඔවුන් ගේ පුවත්පත අලෙවි කරගන්න කලාකරුවන් මේකට යොදා ගන්නවා. ඒක හරිම අසාධාරණයි. එහෙම අසත්‍ය තොරතුරු පළ කළොත් අපේ පේ‍්‍රක්‍ෂකයොත් සමහර වේලාවට අතරමං වෙන්න පුළුවන්. ඊට වඩා හොඳයි මගේ මාධ්‍යයක් හරහා මගේ තොරතුරු පේ‍්‍රක්‍ෂකයන්ට කියන්න පුළුවන්නේ.
 
 • සමාජ මාධ්‍ය ගැන මොකද හිතන්නේ?
 
 හොඳ නරක දෙකම තියෙනවා. අපි ඔළුව පාවිච්චි කරලා යහපතක් උදෙසා පාවිච්චි කළොත් හොඳයි.
 
 • නිෂ්පාදිකාවගේ භූමිකාවට මොකද වුණේ?
 
 අලූතෙන් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න සූදානමින් ඉන්නවා. මැයි මාසයේ එහි වැඩකටයුතු ආරම්භ කරනවා. අවුරුදු දහයකට පස්සේ තමයි මම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ. එහි මම රංගනයෙනුත් සහභාගි වෙනවා.
 
 දිනේෂ් විතාන