kurunegala-incident

කුරුණෑගල රජපිහිල්ල මාවතේ වෙළෙඳසලක ඉකුත්දා රාත්‍රියේ ඉබි යතුරු කඩා රුපියල්
තිස්දාහකට අධික සිගරැට් ඇතුළු භාණ්ඩ සොරාගත්තේ යැයි කියන 14 හැවිරිදි දැරියක හා විසි හැවිරිදි
තරුණයකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.



මොවුන් දෙදෙනා කුරුණෑගල පොදු වෙළෙඳපොළ පිටුපස ඇති දැවැන්ත මාර ගස යට නිවහනක් කරගෙන
ජීවත්වන පවුල්වල අය බව හෙළි වී ඇත. සැකකාර දැරිය මීට පෙර අපචාර ක්‍රියාවන්වලට යොමු වී
අධිකරණයෙන් පස් වතාවක් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ ළමා නිවාසවල රඳවා
සිටියදී එම නිවාසවල පාලිකාවන් සමඟ ගැටුම් ඇති කරගෙන නැවතත් මවුපියන් වෙතට ගොස් ඇති බව හෙළි වේ.

පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරු මාර ගස යට නිවහන කරගෙන ජීවත්ව ඇති බවත් මොහුද නොයෙකුත් දූෂණ
ක්‍රියාවලට සම්බන්ධ අයකු බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් භාණ්ඩ සමඟ 14
හැවිරිදි දැරිය හා තරුණයා පො.සැ. ජයසිංහ (35164) හා පො.සැ. පෙරේරා (30047) යන
නිලධාරීන් විසින් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැරිය අද දින දක්වා
මීගස්තැන්න ළමා නිවාසයේ රඳවා තැබීමට නියෝග කර ඇති අතර විසි හැවිරිදි තරුණයා රිමාන්ඩ් භාරයට
පත්කර තිබේ.

කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ උපදෙස් මත
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.එච්.එම්. පුෂ්පලාල් මහතාගේ
මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක නන්දන බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන්
අත්අඩංගුවට ගෙන තිබේ.


කුරුණෑගල _ විජේසිංහ වැලිකන්ද