kuliyapitiya-incident

කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්
භාරයට පත් කොට සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ අසනීපව වාරියපොළ රෝහලට රැගෙන ඒමේදී මියගොස්
ඇතැයි වාරියපොළ රෝහලේ ප්‍රකාශයෙක් පැවැසීය.

වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී ඊයේ(05දා) රාත්‍රියේදී හදිසියේ ඔහුට හුස්ම ගැනීමේ
අපහසුතාවක් හටගැනීමෙන් අනතුරුව වාරියපොළ රෝහලට රැගෙන ආ බවත් එසේ පැමිණෙන අතරතුර ඔහු
මියගොස් ඇති බවත් බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවැසීය.



මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියානු ජාතිකයකු වන දිලිප් කුමාර් නමැති 47 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ
මෘත ශරීරය මේ වන විට වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව තැන්පත්
කොට ඇති අතර අද දහවල් වාරියපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු මහෙස්ත්‍රාත් සංජීව
රම්‍යකුමාර මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලදී. අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණය සහ
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කුරූණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කරන බව
බන්ධනාගාර නිලධාරියා පැවැසීය.


වාරියපොළ - චතුරංග සමාධි, රඹාවැව - කේ.ඒ. ජයසූරිය