
අද (08) කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ ප‍්‍රවීන මොස්තර නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර යන අය පොලිස් ඇප මත නිදහස්කර තිබේ.
සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවටගත් බව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ජයග්‍රාහි කිරුළ නැවතත් පුෂ්පිකා ද සිල්වාට ලබාදීමට කටයුතු කළ බව විවාහක රූ රැජින තරගයේ සංවිධායකයින් සඳහන් කර තිබුණි.
2.15pm
විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් සහ හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පද්මේන්ද්‍ර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය ඉරිදා පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේදී ඇති වුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කරොලයින් ජූරි පෙරේදාද පැමිණ තිබූ අතර දෙවන වරට ඇය සහ චූලා පද්මේන්ද්‍ර ඇතුළු පිරිස අද (8) පෙරවරුවේ කුරුඳුවත්ත පොලිසියට කැඳවා ඇති අතර ප්‍රකාශ ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
කිරුළ ගළවන අවස්ථාවේ හිසට තුවාල කරමින් හිංසනයට ලක්කිරීමද මොවුන්ට එරෙහි චෝදනාවක් වූ අතර එම පැමිණිල්ල කළ පුෂ්පිකා ද සිල්වා රෝහල් ගතවී වෛද්‍ය සනාථ කිරීම් සහිතව මොවුන් දෙන්නා සීරීම් තුවාල ඇති කළ බවට පොලිසියට දන්වා තිබුණි.
මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



