covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 

මහනුවර

මධ්‍යම පළාතේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලම මේ වනවිට උපරිම ධාරිතාවට ළගා වී තිබෙන බවත් ඒ හේතුවෙන් අලුතෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පැන නැගී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවැසීය.මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඉකුත්ද (24) පැවැති මාධ්‍ය හමුවක දී අධ්‍යක්ෂවරයා මේ බව පැවසීය.එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 21දෙනකු කොවිඩ් වයිරසයට ගොදුරු වී සිටින බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 500ක පමණ සිසු පිරිසක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන බවත්ය.දැනට පවතින තත්වය තුළ මධ්‍යම පළාතෙන් හමුවන කොවිඩ් ආසාදිත පිරිමි පුද්ගලයන් වෙනත් පළාත්වල ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට සිදුව තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. මාතලේ අඹන රෝහල සහ මස්කෙළිය ප්‍රාදේශීය රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීන්දු කර තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පැවැසුවේය.

පල්ලේකැලේ ගම්උදා භූමියේ පිහිටි මධ්‍යම පළාත් සභා කාර්යාල සංකීර්ණයේ ආපනශාලාවක සේවකයකුට කොරෝනා ආසාදිත වීමත් සමග සෞඛ්‍ය අංශ නිලධාරින්ගේ අධීක්ෂණය මත එම ආපනශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පළාත් ජ්‍යෙෂ්ඨ විධායක පරිපාලන

නිලධාරියෙක් පැවැසීය.එම ආසාදිතයා හමුවීමත් සමග පළාත් සභා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකුට ද කොවිඩ් ආසාදිත වී තිබෙන අතර ඔවුන් සෞඛ්‍ය අංශ උපදෙස් මත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.


දැරණියගල
පසුගියදා දැරණියගල රෝහලේ ප්‍රතිකාර ලබාගන්නට පැමිණ සිටියදී ඇදවැටී මියගිය කාන්තාවකට පසුව සිදු කළ පීසීආර් පරීක්ෂණ අනුව කොරෝනා ධනාත්මකවී ඇත.
ඇය 60 හැවිරිදි වියේ පසුවූ දැරණියගල ඉලුක්තැන්න පදිංචිකාරියකි. හුස්ම ගැනීමට අපහසු බව දක්වමින් ඇය දැරණියගල බාහිර රෝගී අංශයට පැමිණ සිටියදී මියගොස් තිබුණි.




ඇල්ල
ඇල්ල ප්‍රදේශයේ හෝටල් දෙකක මංගල උළෙල හා දෙවැනි ගමන උත්සවය පැවැත්වූ මනාල යුවළක් කොරෝනා ආසාදිත බවට හදුනාගෙන ඇති අතර ඊට විශාල පිරිසක් සහභාගීවීම නිසා ඒ අය සෙවීමට හා නිරෝධායනයට වෙහෙසක් ගන්නට සිදුව ඇති බවත් ඇල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක බීඑම්එස්එම් ගුණසේකර දන්වා සිටියි.


උඩුගම

උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීම ඊයේ (28) තල්ගස්වල රණවිරුගම ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.එහිදී කොරෝනා වයිරස ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් 57 දෙනකු සඳහා පී.සී.ආර්. පරික්ෂණ සිදු කෙරිණි. උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්.පී. වෙදගේ සමග මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.ඒ. ඩයස්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන යූ.කේ. ජයන්ත, මහේෂ් උදයංග එච්.එල්. නන්දන කුමාර, ජනිත ලියනආරච්චි යන මහත්වරුද සහභාගී වූහ.

දොම්පේ

දොම්පේ දිස්ත්‍රික් රෝහලේ ස්ථාපිත කොට ඇති කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර වාට්ටු දෙක මේ වන විට රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.එම රෝහලේ ස්ථාපිත කොට ඇති වාට්ටු දෙකෙහි රෝගීන් හතළිස් දෙකකට ප්‍රමාණවත් පහසුකම් ඇති බව පවසන එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය කුමාරි ගුණරත්න මහත්මිය සිංහල අලුත් අවුරුද්දට පෙර රෝහලේ ප්‍රතිකාර ලැබුවේ නම දෙනකු පමණක් බව ද බවද පැවසීය.දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය කුමාරි විජේසූරිය මහත්මිය පැවසුවේ දොම්පේ කොට්ඨාස සතිපොළවල් මූලික කොටගෙන රෝගය ව්‍යාප්ත වීමේ තත්වයක් උද්ගත වී ඇති බවය. ඉකුත් දා සිදුකළ හදිසි පරික්ෂණ හා පී.සී.ආර්. පරික්ෂණ 175කට අනුව වෙළඳුන් විසි එක් දෙනෙකු හඳුනාගැනීමට හැකි වූ බවය.

කැලණි සරසවිය

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.විභාගවලට පෙනී සිටීම සඳහා විශ්වවිද්‍යාලයට පැමිණ සිටි විද්‍යාපීඨයේ ශිෂ්‍යාවන් 4 දෙනකුට සහ ශිෂ්‍යයකුට එලෙස කොරෝනා ආසාදනය වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.එම සිසුන් පස්දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් වූ සිසුන් 93කට අද (29) පී.සී.ආර්. පරික්ෂණ සිදුකරන බව ද විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවලින් පැවසේ.

වැල්ලම්පිටිය

කොරෝනා ආසාදිත සේවකයකු වාර්තා වීමත් සමගම වැල්ලම්පිටිය නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඊයේ (28) සිට වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වශයෙන් හඳුනාගත් බැංකුවේ 13 දෙනකු නිරෝධායනය සඳහා යොමු කළ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.මෙම පිරිස අතර සේවකයන් 09 දෙනකු, ආරක්ෂක අංශයේ දෙදෙනකු හා සනීපාරක්ෂක අංශයේ දෙදෙනකු සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා රෝග ලක්ෂණ පහළවීමත් සමගම එහි සේකයකුට පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර ඇති අතර එම වාර්තාව අනුව ඔහු ආසාදිතයකු වශයෙන් ඊයේ හඳුනාගෙන ඇත.ඒ අනුව ඔහුගේ පළමු ආශ්‍රිතයන් පිරිස මෙලෙස නිරෝධායනයට යොමුකර බැංකුව වසා දැමීමට පියවර ගෙන තිබිණි. බැංකුව සම්පුර්ණයෙන්ම විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ඉදිරි දිනවල වෙනත් කාර්ය මණ්ඩලයක් යොදවා බැංකුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල

දෙසතියක කාලය තුළ ගාල්ල දිස්ත්‍රිකයේ පාසල් සිසු සිසුවියන් 43 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී
ඇති බව හඳුනාගෙන ඇතැයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම සිසුන් 43 දෙනා පාසල් 28කින් වාර්තා වීමද විශේෂත්වයකි. මෙලෙස කොරෝනා ආසාදිත සියලු සිසුන්
නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකොට ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක
කොට ඇතැයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටී.




ගම්පහ

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි පිහිටි උප්පැන්න හා විවාහ රෙජිට්‍රාර් කාර්යාලයෙහි සේවිකාවක කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම මත නැවත දැනුම් දෙන තුරු එම කාර්යාලය වසා තැබෙන බව දිසාපති සුනිල් ජයලාල් මහතා පැවසීය.ජනතාවගේ උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් අවශ්‍යතා සඳහා විද්‍යුත් පහසුකම් සහිත වෙනත් ප්‍රාදේශීය කාර්යාලයකින් ලබා ගත හැකි බව දිසාපතිවරයා කීය.


 වලල්ලාවිට

වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ (27දා) දහවල්
වනවිට 70 දක්වා ඉහළ ගොස් ඇතැයි වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ටී. අතුකෝරල සහ
මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අයේෂ් මධුරංග යන මහත්වරු පැවැසූහ. වලල්ලාවිට ප්‍රදේශයේ
පසුගිය දිනක පැවැති මංගල උත්සවයකට සහභාගි වූ පිරිසෙන් විසි දෙනකුට පමණ කොවිඩ් ආසාදනය වී ඇති අතර ආශ්‍රිතයන් සොයා පරීක්‍ෂණ සිදුකරන බව මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අයේෂ් මධුරංග මහතා කීවේය.

වලල්ලාවිට, ලේ‍ෙදාළ, පැලවත්ත, පහළ හෙවෙස්ස, බෝතලාව, එකේ කණුව ඇතුළු ප්‍රදේශ රැසකින්
මේ වනවිට ආසාදිතයන් හමුවී ඇති අතර ආශ්‍රිතයන් සොයා පී.සී.ආර්. පරීක්‍ෂණ සහ රැපිඩ් ඇන්ටිජන්
පරීක්‍ෂණ සිදු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පැවැසූහ.

කෑගල්ල

2020 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා නිලධාරි
කොට්ඨාස 11 තුළින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය අප්‍රේල් 27 දින වන විට 4079 වන
බවත් සුවපත්වූ ප්‍රමාණය 3841 බවත් මියගිය සංඛ්‍යාව 28ක් බවත් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අප්‍රේල් 25, 26 හා 27 යන දිනවලදී වාර්තාවූ රෝගීන් සංඛ්‍යාව 114ක් බව වාර්තාවේ දැක්වේ.
ඒ පහත දැක්වෙන අයුරිනි.
කෑගල්ල 20, මාවනැල්ල 45, වරකාපොළ 22, දෙහිඕවිට 09, ගලිගමුව 05, රඹුක්කන 06, රුවන්වැල්ල
05, අරණායක 01, දැරණියගල 01.
මෙම කාලය තුළ නිරෝධායනය අවසන් කළ පිරිස 52,024ක් වන බවද දැනට නිරෝධායනය වන පිරිස
1873ක් බවද ඒ මහතා කීය.

මහජන බැංකු ශාඛා 17 ක්  ඉතිරිකිරීමේ බැංකු ශාඛා 7ක්

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් මහජන බැංකු ශාඛා 17ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7ක් ද ඊයේ (28) දිනයේ වසා තිබිණි.මෙම හදිසි වසා දැමීම පිළිබඳව මෙම බැංකු ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ගනුදෙනුකරුවන්ට ඊයේ දැන්වීය.බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පෙටිප්පොළ, කොළඹදිස්ත්‍රික්කයේ කටුබැද්ද සහ සොයිසාපුර, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල, හම්බන්තොට සහ සයුරුපාය, මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාකඳුර, කොබෙයිගනේ, කටුපොත,බොරලුවැව සහ පන්නල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශාඛා 17ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7ක් ද ඊයේ (28) දිනයේ වසා තිබිණි.මෙම හදිසි වසා දැමීම පිළිබඳව මෙම බැංකු ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ගනුදෙනුකරුවන්ට ඊයේ දැන්වීය.බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පෙටිපොළ, කොළඹ දිස්ත්‍රික්කයේ කටුබැද්ද සහ සොයිසාපුර, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල, පිළිමතලාව, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාකඳුර, කොබෙයිගනේ, කටුපොත,බොරලුවැව සහ පන්නල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ සහ මොල්ලිපොතාන යන මහජන බැංකු ශාඛා මෙලෙස වසා ඇත. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පිටකොටුව, දෙහිවල, තලවතුගොඩ, බොරැල්ල, වැල්ලවාය, කුලියාපිටිය සහ දංකොටුව යන ශාඛාවන් ද කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ඊයේ වසා තිබිණි.

දොඩන්ගොඩ

කොරෝනා රෝගීන් 20 දෙනකු හඳුනා ගැනීමත් සමඟ ‍දොඩන්ගොඩප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක්
දහවල් සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය
පරීක්‍ෂක ආර්. ජී. සිංහබාහු මහතා පැවැසීය.දොඩන්ගොඩ, ගංඉම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක්
මෙසේ වසා දැමීමට පියවර ගෙන තිබේ. ඉකුත් 24දා සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණ

134න් ආසාදිතයන් 20 දෙනකු හඳුනාගෙන ඇති අතර, ඊයේ දිනයේදී ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සිය
දෙනකු වෙනුවෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකරන බව ඒ මහතා පැවැසීය.

ආසාදිතයන් මතුගම, ‍දොඩන්ගොඩ, කළුතර සහ බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ
පැවැසූහ.

කොටිකාවත්ත- මුල්ලේරියාව

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල සීමාවේ දින තුනක් තුළ කොරෝනා ආසාදිතයන් 77 දෙනකු වාර්තා වූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නලින් ෆොන්සේකා මහතා ඊයේ (28) පැවසීය.මෙම ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීමත් සමග අංගොඩ කර්මාන්තපුරයේ ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලා දෙකක් ද තාවකාලිකව වසා දැමූ බව ඔහු සඳහන් කළේය.ඒ අනුව රෝගය ආසාදිත අයගේ පවුල්වල සාමාජිකයන් | 200කට වැඩි පිරිසක් නිවෙස්වල නිරෝධායනයට යොමු කළ බව ද හෙතෙම පැවසීය. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ 200 දෙනකුට පී.සී.ආර්. පරික්ෂණ සිදුකළ බවත් ඊයේ (28) සවස ලැබුණු එම ප්‍රතිඵල වාර්තතා අනුව 77 දෙනකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් ඔහු කීය. මෙලෙස හඳුනාගත් රෝගීන්ගෙන් බරපතළ තත්වයේ පසුවන අය රෝහල් වෙතත් අනෙක් අයව නිරෝධායන මධ්‍යස්ථාන වෙතත් යොමු කළ බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ශකවරයා පැවසීය.

මාතලේ

මාතලේ - නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අළුගොල්ල ග්‍රාම නිලධාරි වසම ඊයේ (28) උදෑසන සිටම හුදෙකලා කර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. පවුල් 217කට අයත් පුද්ගලයන් 643 දෙනකු වාසය කරන අළුගොල්ල ග්‍රාම නිලධාරි වසම තූළ ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් විශාල පිරිසක් ජීවත් වෙති.මෙම ප්‍රදේශයෙන් පසුගිය දින කිහිපයේ කොරෝනා වයිරසය ආසාදිත වූ 16 දෙනකු හමු වූ බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියා සිටියේය.නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිරෝෂනී සෙනවිරත්න මහත්මිය කියා සිටියේ හුදෙකලා කළ අළුගොල්ල ග්‍රාම නිලධාරි වසමේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි.

බොරැල්ල

කොළඹ 08 බොරැල්ලේ රජයේ මුද්‍රණාලයේ අංශ ප්‍රධානියකු ඇතුළු සේවකයන් සිවුදෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි පොත් මුද්‍රණ නිමැවුම් අංශය ඊයේ (28) වසා දැමූ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවැසුවාය. කොවිඩ් ආසාදිත මෙම සේවකයන් සිවුදෙනාගේ ළඟම ආශ්‍රිතයන් වූ සේවකයන් විසිනවදෙනකු නිරෝධායනයට යොමු කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමෙන් පසුව රජයේ මුද්‍රණාල පරිශ්‍රය ඊයේ සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කළ බව එහි නිලධාරීහු පවසති. මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ සේවකයන් ඉදිරියේදී කොටස් වශයෙන් සේවයට කැඳවීමට කටයුතු යොදා ඇතැයි කී කල්පනා ලියනගේ මහත්මිය මුද්‍රණාලයේ ලියකියවිලි හා පොත්පත් පරිශීලනය කරන ආකාරය සම්බන්ධයෙන් ද සේවකයන්ට සෞඛ්‍ය නීති මාලාවක් හඳුන්වා දුන් බව පැවැසුවාය.

ගම්පොළ

ගම්පොළ නගර සීමාවේ දේවි බාලිකා විද්‍යාලයේ 3 වසර ශිෂ්‍යාවක් ආසාදනයට ලක්වීම නිසා එම
පන්තිය වසා දමා ශිෂ්‍යාවන් 24 දෙනකු නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ සමඟ කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිත ළමුන් ඉගෙනුම ලැබූ නගරයේ පාසල් 4ක පන්ති කිහිපයක් වසා
දැමීමටද සෞඛ්‍ය අංශ පියවර ගත් බව පවසයි.
ඒ අනුව ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, ජිනරාජ බාලිකා
විද්‍යාලය කහටපිටිය, අල්මිනා පාසල සඳහා මෙසේ ආරක්‍ෂිත පියවර ගෙන ඇත.

මේ අතර ගම්පොළ පුද්ගලික රක්ෂණ ආයතනයක 22 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගන්නට ලැබීම නිසා එම ආයතනය වසා දමා ඇත. මෙම ආයතනයේ එක් නියෝජිතවරියක අසනීප වීමෙන් පසු ආශ්‍රිතයින් සොයා කළ පරීක්ෂණ වලදී අනෙක් අයටද වැළදී ඇති බව දැනගෙන ඇත. රක්ෂණ සේවාවන් සදහා ගනුදෙනු කරුවන් විශාල වහයෙන් ඇසුරු කර තිබීම හේතුවෙන් මේ අයගෙන් තවත් විශාල පිරිසකට  රෝගය බෝවී ඇතැයි සැක කරන අතර ඒ අය දැනුවත් කිරීමට උපරිම කටයුතු සිදු කර තිබේ.


මත්තේගොඩ

දිවයිනේ සේප්පු නිෂ්පාදනය කරන සමාගමකට අයත් මත්තේගොඩ පිහිටි කර්මාන්ත ශාලාවේ සේවකයන් පස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මේ හේතුවෙන් ආසාදිතයන්ගේ සමීපතම දසදෙනකු නිරෝධායනයට ලක් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසුහ. දිවයින්නේ විවිධ සමාගම්වල ඉදි කිරීම් සඳහා මෙම සමාගමට ඇණවුම් ලැබෙන අතර එසේ ලැබෙන ඇණවුම් වලට අනුව ඉදිකිරීම් සඳහා පහළොස් දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මෙම සමාගමෙන් යොදවා ඇති අතර එම කණ්ඩායමේ සේවකයන් පස්දෙනකුට මෙසේ රෝගය ආසාදනය වී ඇති බව කියති. එසේ බැහැරට ගිය එක් සේවකයකුට පළමුව රෝගය ආසාදනය වී තිබූ අතර පසුව ඔහුගේ ආශ්‍රිතයන් ඉලක්ක කරගනිමින් සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයේදී තවත් සිවුදෙනකුට මෙසේ රෝගය ආසාදනය වී ඇති බවට වාර්තා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. දැනට මෙම කර්මාන්ත ශාලාවේ තුන්සියයකට ආසන්න සේවකයන් පිරිසක් සේවයේ නිරත වන අතර ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් සොයා කඩිනමින් නිරෝධායන කටයුතු සිදුකිරීමට නියමිත බව සෞඛ්‍යා වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.