china-growth

චීනය වෙත 2020 වසරේදී හිමි වූ විදෙස් ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 520.6ක් බව එරට විදේශ විනිමය පිළිබද රාජ්‍ය පාලනාධිකාරිය පවසයි. ඒ අනුව මෙය 2019 වසරේදී වාර්තා කළ විදේශ ආයෝජනවල වටිනාකම මෙන් 81%ක වර්ධනයකි.



විශේෂයෙන් COVID-19 වසංගතය මධ්‍යයේ වුවද චීනයේ ආර්ථිකයේ ශක්තිමත් යථාවත්වීම මෙන්ම, වඩාත් හොද ව්‍යාපාරික පරිසරය මින් නිරූපණය වන බව එරට බලධාරීන් පවසයි. එහිදී 2020 වසරේදී චීනය වෙත සිදුවුණු සෘජු විදේශ ආයෝජනද 14%කින් ඉහළ නැග තිබේ.

2020 වසරේදී චීනයේ සුරැකුම්පත් වෙළඳ පොළ ද ඇ.ඩො.බිලියන 254.7ක් වටිනා විදේශ අරමුදල් ගලා ඒමක්ද වාර්තා කර තිබේ. එය 2019 වසරට සාපේක්ෂව 73%ක වර්ධනයකි. එසේම චීන සුරැකුම්පත් වෙත හිමිව ඇති විදේශ ආයෝජන ප්‍රමාණයද අ.ඩො.බිලියන 190.5ක් බවට පත්ව ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 86%ක ඉහළ යාමකි. මීට අමතරව චීන කොටස් තුළ සිදුව ඇති විදේශ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො. බිලියන 64.1ක් එනම් 43%කින් ඉහළ නැග තිබේ. කෙසේ වෙතත් චීනය විසින් 2020 වසරේදී විදේශයන්හි සිදුකළ සෘජු ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 109.9ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2019 වසරට සාපේක්ෂව 20%ක පහත වැටීමකි. විශේෂයෙන්ම COVID-19 වසංගතය මේ සදහා බලපෑම් එල්ල කර තිබේ.