caroline-jury-police

පසුගිය ඉරිදා (4) ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී කිරුළු මාරු කරන්නට ගොස් වැරදී යාමෙන් ඇතිවූ ගැටලුව ඉතා සරලව සමථයකට පත්කරගන්නට පැවති අවස්ථාව විවාහක රූ රැජිණි කැරොලින් හා ඇගේ සහායිකා චූලා පද්මේන්ද්‍ර අද (8) පොලිසියේදී සිදු කළ ප්‍රකාශ නිසා අහිමි කරගෙන තිබේ.
මෙම ගැටලුවට මැදිහත්වූ සංවිධායකයින් නියම කිරුළට සුදුස්සා පුෂ්පිකා ද සිල්වා බව ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා ඇයට කිරුළ නැවත පිරිනැමූ පසු මෙම ගැටලුව බොහෝ දුරට හමාර වූ නමුත් තමන්ට තරග අවසානයේ රාත්‍රියේ ප්‍රසිද්ධියේ අපහාසයක් හා හිංසාවක් කරමින් අගතියක් වූ බවට පුෂ්පිකා ගොනු කළ පැමිණිල්ල ඉවත් කරගෙන තිබුනේ නැත. ඇය තර්ක කළේ දැනටමත් සියලු දෙනාම කැරොලින් හා චූලා වරදක් කර ඇති බවට පිළිගෙන තිබෙන නිසා ඔවුන්ටද ප්‍රසිද්ධියේ තමන්ගේ නම සඳහන් කර සිදු කළ වරදට සමාව ඉල්ලා සිද්ධිය සමථයට පත් කරගන්නා ලෙසයි.


නමුත් පළමු දිනයේ පොලිසියට පැමිණි කැරොලින් ජූරි සඳහන් කර තිබුනේ තමන් පුෂ්පිකාගේ ඔටුණු ගැලවූ ක්‍රියාව නිවැරදි බවත් දික්කසාද නඩුවකට ගොස් සිටි ඇය තරග කරන්නට පවා නොසුදුස්සියකව සිටි බවයි. තමා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි නිසා වරදක් කර නැති බව නීති උපදෙස් මත ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් පොලිසිය පවසා තිබුනේ මෙම ගැටලුව ක්‍රියාදාමයක් ලෙස දැනටමත් සංවිධායකයින් විසින් විසඳනු ලැබ ඇති බැවින් හා පුෂ්පිකාට යළි ඔටුන්න ලබාදී තරග නීති ක්‍රියාත්මක කර ඇති බැවින් ඒ ගැන දැන් නැවත විනිශ්චය කිරීම අර්ථ විරහිත බවයි. සිදු කළ හැකි හොඳම දේ සිදුවූ වරද දැන්වත් පිළිගෙන සමාව ගන්නා ලෙසයි. ඒ සඳහා පුද්ගලිකව නොහැකි වුවොත් ප්‍රශ්නය සමථ මණ්ඩලයකට යොමු කළ හැකි බව දන්වා මින් දින දෙකකට පෙර  කැරොලින්ව පොලිසියෙන් පිටත් කර තිබුණි.
කෙසේ වෙතත් තම ස්ථාවරයේ දිගටම සිටි කැරොලින් දෙවන දිනයට පොලිසියට චූලා සමග පැමිණ නැවත කියා ඇත්තේ තමන් සිදු කරන ලද්දේ වරදක් නොවන බවයි.     
එසේම වරදක් කර නැතත් තමන් සම්බන්ධ නැති විනිසුරු මණ්ඩලය පුෂ්පිකා වෙනුවෙන් යම් තීරණයක් ගෙන ඇති බැවින් ඊට අනුගත වන බව ඔවුන් දන්වා ඇති අතර දැන් තමන්ට ප්‍රකාශ කළ හැක්කේ විනිසුරු මඩුල්ලේ තීරණයට ගරු කරන බව පමණක් යයිද දන්වා ඇත. ඒ අනුව ප්‍රසිද්ධියේ සමාව ගැනීමට අවශ්‍යතාවක් නැතැයිද තමා වත්මන් ලෝක විවාහක රූ රැජිණ වන බැවින් එම කිරුළේ වටිනාකම හා එහි නිකලැල් බව වෙනුවෙන් පෙර ආකාරයට කටයුතු කළ යුතු බවද දන්වා ඇත.
පැමිණිල්ල කළ පුෂ්පිකා පොලිසියට පැමිණ මේ ගැන ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සමාව ගන්නේ නම් ගැටලුව සාමදාන කළ හැකි බව දන්වා තිබූ අතර එසේ කළ හැකිදැයි ඇසූ විට කැරොලින් එසේ කළ නොහැකි බව පවසා ඇත.


‘අකමැත්තෙන් හෝ විනිසුරු මඩුල්ලේ තීරණයට ගරු කරන බව‘ පමණක් නිවසේ සිට වීඩියෝවක් පටිගත කර හෝ නැතිනම් ලිපියක් ලියා දන්වා සිටිය හැකි බවත් පුෂ්පිකාගේ නමක් සඳහන් කර සමාව ගැනීමක් එහිදී සිදු නොවනු ඇති බවත් ඇය දන්වා ඇත.
දැන් සිද්ධ වුණ වරද ගැන රටම දන්නවානේ... පුෂ්පිකාගෙන් සමාව ගන්නවා කියන්න බැරි ඇයි? පොලිසිය අසද්දී නෑ අපි වරදක් නොකර මොකටද සමාව ගන්නේ? කැරොලින් හා චූලා තරයේ පවසා ඇත.
අනෙක් පාර්ශ්වය වූ පුෂ්පිකාද සමාව ගැනීම ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකින් මිස වෙනත් ආකාරයකින් සිදුවනවාට අකමැති බව දන්වා තිබීම නිසා ගැටලුව විසඳාගන්නට පොලිසියට බැරිව ගොස් තිබේ. 
මේ නිසා පැය 4 ක පමණ වාද කිරීමකින් පසු දිගින් දිගටම ඔවුන් දෙන්නා  එම මතය වෙනස් නොකර පොලිසියේ රැඳි සිටි අතර අවසානයේ අත්අඩංගුවට පත් විය.
එයට හේතුවූයේ සාපරාධි බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම සහ සුළු තුවාල සිදුකිරීම යන චෝදනාය.
කෙසේ වෙතත් ඔවුන් අද සවසම ඇප මත නිදහස් කෙරිණි. නිදහස්ව යන අවස්ථාවේ මාධ්‍ය වෙතද ප්‍රකාශ නොදී කැරොලින් නැවත මග හැරියාය.
පැය කිහිපයක පමණ රඳවා ගැනීමකින් පසුවත් ඔවුන් සාමදාන වීම ප්‍රතික්ෂේප කළ නිසා අධිකරණය වෙත ගැටලුව යොමු කිරීමට පොලිසියට සිදුවිය. ඒ අනුව ලබන 19 වනදා සියලු පාර්ශ්වයන් අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇත. එහිදී විනිසුරු ප්‍රසිද්ධියේ සමාව ගන්නට කැරොලින්ට නියම කළොත් ඊට අනුගතවීමට ඇයට සිදුවනු ඇත.
ඉරිදා සිදු කළ ක්‍රියාව මෙන්ම සමාව නොගෙන ලජ්ජාවෙන් බේරීමට කැරොලින් දරන ප්‍රයත්නය නිසා කිරුළේ අගය එන්න එන්නම පහත වැටී ඇති අතර ඇයගේ නමට මෙම සංසිද්ධි මත විශාල කැළලක් එක්කරගෙන ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය තුළද මෙම සිදුවීම කැරොලින්ට අවාසි සහගත ලෙස පළවීම නිසා ඉදිරියේදී මිසිස් වර්ල්ඩ් සංවිධානය ඇයගේ කිරුළ ගළවා දැමීමේ අවදානමකටද ලක්ව තිබේ.