ලෝක විවාහක රූ රැජිණ කිරුළ තෝරන ඇමරිකාවේ කැලිෆෝනියා නුවර මිසිස් වර්ල්ඩ් සමාගම 2020-21 වසර සදහා තෝරාපත් කරගෙන ශ්‍රී ලංකාවට පිරිනමා තිබූ කිරුළ කැරොලින් ජූරිගෙන් ගළවා එම තරගාවලියේ දෙවැනි තැන දිනූ අයර්ලන්තයේ කේට් ෂිනයිඩර් වෙත පිරිනමා තිබේ. 

ඔවුන්ගේ මෙම වෙනස්කම සම්බන්ධ නිල නිවේදනයක්ද සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර තිබේ.
පසුගිය දිනෙක ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේදී කැරොලයින් ජූරි සිදු කළ ක්‍රියාව එම කිරුළට නොගැළපෙන්නක් බවට විවේචන එල්ලවූ අතර ඒ සම්බන්ධ වාර්තාවීමෙන් පසුව ඔවුන් විමර්ශනයක් පවත්වන බව දන්වා තිබුණි. විමර්ශන කාලය අතරතුරදී කැරොලයින් ජූරි වීඩියෝවක් නිකුත් කරමින් තමා වැරදි නැති බවත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටි බවත් කියා සිටි අතර යුක්තියේ නාමයෙන් තමා ඉල්ලා අස්වන්නට සූදානම් බව දක්වමින් කිරුළ ගළවා අතට ගත්තාය.


මේ සංඥාව ඔස්සේ යමින් ඇමරිකාවේ මිසිස් වර්ල්ඩ් සමාගම ඇය වැරදිකාරියක බවට සදහනක් නොකර කැරොලයින් ජූරි ඉල්ලා අස් වීම ඔවුන් වෙත දැනුම් දී ඇති බැවින් හිස්තැන දෙවැනියාගෙන් පුරවන බවත් කැරොලයින්ගේ අනාගතය වෙනුවෙන් සුබ පතන බවත් දක්වමින් සුබවාදී ලෙස ප්‍රශ්නය නිමකර තිබේ‍.
මේ අනුව කැරොලයින් ජූරිට ඉදිරි මාස 7 ක කාලයේදී මෙම කිරුළ සම්බන්ධ කරගෙන ඇති කරගත් ලක්ෂ ගණනක් වටිනා කොන්ත්‍රාත්තු වලින් ඉවත් වන්නට සිදුවන අතර ලබන දෙසැම්බර් මාසයේ කොළඹදී පැවැත්වෙන 2021 වසරේ ලෝක විවාහක රූරැජිණ තරගයට සහභාගීවී ඊළඟ ජයග්‍රාහිකාවට කිරුළ පළඳවන්නට ලැබෙන අවස්ථාවද අහිමි වී යයි.
මෙම කිරුළ වසරක කාලයකට පමණක් වටිනාකම් නොකියවෙන්නක් වන අතර 1984 සිට මේ දක්වා වසර 37 ක් රෝසි සේනානායක එහි ගෞරවය රැකගත් ලෙස කැරොලයින්ට එහි වටිනාකම රැකගන්නට නොලැබී යාම අවාසනාවකි.
ශ්‍රී ලංකාවේ නම ඉදිරියේ ලැබුණ ජයග්‍රහණයක් අපකීර්තිමත් ලෙස අහිමි කරලීමද ගැටලුකාරීය.


ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී පුෂ්පිකාට පිරිනැමූ කිරුළ ගළවමින් කැරොලයින් ජූරි සිදු කළ ක්‍රියාව නිසා ඇයට පොලිසි ගාණේ රස්තියාදු වන්නටත් අත්අඩංගුවට පත්වන්නටත් සිදුවූ අතරම ජාත්‍යන්තර රූපවාහිනී හා යූටියුබ් නාලිකාවන්ගේ හාස්‍යජනක විවේිචනයන්ට බදුන්වීමටද සිදු විය.
පුෂ්පිකා අසාධාරණයි මම සමාව ගන්නේ නැහැ යයි දැඩි ප්‍රකාශ සිදු කළ නමුත්
ඇය අධිකරණයට ඉදිරිපත්වී පසුගියදා ලක්ෂ 2 ක ශරීර ඇප මත නිදහස ලබාගත්තේ මෙම ගැටලුව සාමකාමීව සමථයකට පත්කරන්නට කැමැත්ත ලබාදීමෙනි.



තමා කිරුළ ගලවන්නට සූදානම් බවට කැරොලයින් සිදු කළ ප්‍රකාශය පහතින්