කොවිඩ් - 19 හේතුවෙන් නිරෝධායනය වන නිවෙසකට රතිඤ්ඤා ප්‍රහාර එල්ලකරමින් ප්‍රීති ඝෝෂා සිදු
කිරීමෙන් ඉතා අශෝභන ආකාරයෙන් හැසිරුණු බව කියන සිද්ධියක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට
පල්ලෙවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

හාපිටිගම, ගල්පොල, ලියද්දවත්ත ප්‍රදේශයේ නිවාස කිහිපයක නිවැසියන් නිරෝධායනයට ලක්කර ඇති අතර
ඉන් එක් කාන්තාවක් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකින් කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී
ඇත.

ඒ අනුව ඇය සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට යොමු කර ඇත.  ඒ අනුව ඇය රෝහල වෙත යොමු
කිරීමෙන් පසුව ඇගේ සිඟිති දියණිය ඇගේ නිවෙස අසලම පදිංචිව සිටින නිරෝධායනය වන මස්සිනාගේ නිවෙසේ
නවතා ගොස් ඇත. ඇය රෝහල වෙත රැගෙන යෑමෙන් පසුව පරුෂ වචන කියමින් ප්‍රීති ඝෝෂා පවත්වමින්
බට්ටා වර්ගයේ අධි බලැති රතිඤ්ඤා පත්තු කර නිවෙස වෙත දමා ගසමින් මෙම පිරිස විනෝද වී ඇත.

එහිදී අසල්වැසියන් විසින් පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස් හදිසි ඇමැතුම් අංකය 119
 දැනුවත් කිරීමෙන් පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ සොයා බලා ඇත.

සිද්ධියට
සම්බන්ධ වූ පුද්ගලයා ඒ වන විටත් එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා
පොලිසිය කටයුතු යොදා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිද්ධියට අදාළ පුද්ගලයාගේ බිරියගෙන් විමසූ
අවස්ථාවේ පොලිස් නිලධාරීන්ටද එම පුද්ගලයාගේ බිරිය බැන වැදී තිබේ. පොලිස් නිලධාරීන් විසින් මෙම
වසංගත තත්ත්වය හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව ස්වාමිපුරුෂයාට
පල්ලෙවෙල පොලිසියේ පෙනී සිටින ලෙසට දන්වන ලෙසට බිරියට උපදෙස්දී ඇත. පල්ලෙවෙල පොලිසිය මේ
පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නිට්ටඹුව - මනෝජ් පතිරණ