ආමි සුරංග යන අයගේ ඝාතන සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක, උප පොලිස් පරීක්ෂක
ඊ. නිශාන්ත සිල්වා, පොලිස් කොස්තාපල් ප්‍රේමකුමාර (32484) යන නිලධාරීන් සැකකරුවන් ලෙස නම්
කර ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා
ජයරත්න මෙනෙවිය ඊයේ (06දා) පැවැසුවාය.

ලංකා දණ්ඩ නීති සංග්‍රහය 296 වගන්තිය යටතේ මිනීමැරුම් වරදට හා මිනී මැරීමට කුමන්ත්‍රණ කිරීම
යන වරදවල් යටතේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මූලික පරීක්ෂණයක්
සිදුකිරීමට බැලූ බැල්මට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී තිබේ.



ඒ අනුව මොවුන් සැකකරුවන් ලෙස නම් කර අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදන අනුව
ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඔවුන් අදාළ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන
ලෙස නීතිපතිවරයා වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග ලබාදී තිබිණි.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ
හිටපු ස්ථානාධිපතිවරයාව සිට මේ වනවිට ස්විට්සර්ලන්තයට පලාගොස් සිටී. අනෙක් නිලධාරියා මේ වනවිට
ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරි කරමින් සිටී.

නීතිපති දෙපාර්තමේන්තුව නිශාන්ත සිල්වා ඇතුළු කණ්ඩායමට විරුද්ධව ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් උසාවියේ
පැවැති නඩු විභාගයේ තීන්දු ප්‍රකාරව මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති උපදෙස් පතා තිබූ
බවද වාර්තා වේ.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්වූ ‘ආමි සුරංග‘ නමැත්තා කලකට පෙර පාතාලයේ ප්‍රබලයකුව සිටියදී
ඝාතනයට ලක්වූ ‘වට්බොට්ටා’ගේ සගයකු විය.

එම කාලසීමාව තුළදී සූරියවැව ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකම් සඳහා නමක් දරා සිටි ‘රත්නවීර
කණ්ඩායම’ සමඟ වම්බොට්ටාගේ කණ්ඩායම අතර දරුණු ගැටුම් ඇති විය. මෙම ගැටුම්වල ප්‍රතිඵලයක් මත
සුනිල් රත්නවීර නමැත්තා වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ ‘ආමි සුරංග‘ නමැත්තාටය. පසුව රහස් පොලිස් නිලධාරීන්
කණ්ඩායමක් විසින් ‘ආමි සුරංග‘ වෙඩි තබා ඝාතනය කරනු ලැබූ බවට චෝදනා එල්ල විය.



‘ආමි සුරංග‘ ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් කොටුවකට රැගෙන ගොස් ඝාතනය කරන අයුරු ඔහුගේ මාමා
කෙනකු විසින් ඇසින් දුටු සාක්කියක් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ලබාදී තිබිණි. එම නඩුව
අධිකරණයේදී විභාග වන අවස්ථාවේදීද ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදී තිබිණි.

මේ අනුව ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රමාණවත් සාක්ෂි
අනාවරණය වී ඇති බව නීතිපතිවරයා විසින් දැනුම්දී ඇතැයිද වාර්තා වේ.


කීර්ති මෙන්ඩිස්, හංසි නානායක්කාර