Maththegoda-dead-body

මත්තේගොඩ පුවක්ගහදෙණිය වෙල් යායේ ලඳු කැලෑවක තිබී අබිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයකුගේ මළ
සිරුරක් ඊයේ (06දා) දා සොයාගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. මෙම පුද්ගලයාගේ අනන්‍යතාව
මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය
කියයි. 

මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිකෙරෙන සරසවි ගොඩනැඟිල්ලක ආරක්ෂක නියාමකවරයකු ඉකුත්දා (5 දා),
අවට භූමිය පරීක්ෂා කරමින් සිටියදී යාබද වෙල් යායේ මෙම මළ සිරුර තිබෙනු දැක ඇතැයි පොලිසිය කියයි.

පසුව ඒ පිළිබඳව 119 හදිසි ඇමැතුම් අංකයට කරන ලද දැනුම් දීමකට අනුව මත්තේගොඩ පොලිසියේ
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම
ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමේදී මළ සිරුරට යාබදව තිබී වස බෝතලයක්ද සොයා ගත් බව පොලිසිය
කියයි.

ඒ වන විටත් මෙම මළ සිරුර හඳුනාගත නොහැකි තරමට විරූපීව තිබූ අතර දින තුනකට පමණ පෙර මියගිය
පුද්ගලයකුගේ මළ සිරුරක් බවට පොලිසිය සැක කරන බව පැවැසේ.



 ඒ අනුව ගල්කිස්ස අපරාධ කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ
කරන ලදී.

පසුව කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත්
මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.

ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගිය දේහය පීසී.ආර්. පරීක්ෂණයට ලක්
කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිඵලය අනුව දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

මෙම මරණය වස පානය කිරීමෙන් සිදු වූවක්ද නැතහොත් ඝාතනයක්ද යන්න පිළිබඳ

පරීක්ෂණ ක්‍රියාත්මකය.

මේ පිළිබඳව ගල්කිස්ස ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතාගේ හා සහකාර පොලිස් අධිකාරි
ප්‍රදීප් වෙත්තසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප
පොලිස් පරීක්ෂක මධුශංක, පො.සැ. සරත්, (62371) පො.කො.  විතානගේ (70285) නිලධාරීහු
වැඩිදුර පරීක්ෂණ පවත්වති.


පන්නිපිටිය - හෂාන් පුෂ්පික