yahali-sangakkara-sigiriya-land

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය වන යහාලි සංගක්කාරගේ නමට ව්‍යාජ ලේඛන සකසා සීගිරිය ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර දෙකක් ලබාදී තිබීම සම්බන්ධයෙන් මේ වනවිට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරීක්ෂණයක් ආරම්භවී තිබේ.


අඩු ආදායම්ලාභිනියක ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලේඛන සකස් කර පර්චස් 90කට ආසන්න රුපියල් කෝටි ගණනක් වටිනා මෙම ඉඩම පවරා දී ඇත්තේ ව්‍යාජ හැඳුනුම්පතක් සහ මාසික ආදායම රුපියල් 7000ට අඩු ආදායම්ලාභියකු ලෙසට කූඨ ලේඛන සකස් කිරීමෙන් බවට දැන් කරුණු අනාවරණයවී ඇත. ව්‍යාජ ලේඛන සකස් කළ ග්‍රාම නිලධාරියා මේ වනවිට වැඩ තහනමට ලක්ව ඇත.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලන්තෑව ප්‍රදේශයේ පදිංචි ඇතුගල් පේඩිගේ පද්මිණී යන අය විසින් අංක ඒ ආර්/ 5/ 031539 දරන දීමනා පත්‍රයට අනුව මෙම ඉඩම පවරා දෙනු ලැබ ඇත්තේ පරණගම, දඹුල්ල ලිපිනයේ පදිංචි බව කියන යහාලි සංගක්කාර වෙත බව එම තොරතුරුවලින් හෙළිවී තිබේ.එම ඉඩමේ පදිංචිව සිටි ඇතුගල් පේඩිගේ පද්මිණී යන අය තම ඉඩම නඩත්තු කරගත නොහැකි බැවින් එය තවත් අඩු ආදායම්ලාභී කාන්තාවක ලෙසින් හැඳින්වූ යහාලි වෙත පවරා දෙන ලෙසට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර ඇත්තේ ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මස 05 වැනිදාය.
ආර්ථික සංවර්ධනය නගාසිටුවීම වස් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රජයේ ඉඩම් පැවරීම සිදු කරන වැඩසටහනක් යටතේ අංක ඒ ආර්/ 5/ 031539 දරන රූඩ් 02 පර්චස් 15.1 ක මෙම ඉඩම් කොටස ක්‍රීඩකයාගේ බිරියගේ නමට ලබාදීමට අදාළ ඉඩම පිහිටි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරියා සහ ඉඩම් නිලධාරි මෙන්ම ජනපද නිලධාරියා ද අදාළ හිමිකම් පරික්ෂාකොට සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත තහවුරු කරතිබීම නිසා
ලේඛනවල මතුපිට නිවැරදිතාවය පමණක් සලකා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා ඊට අත්සන් කර ඇත්තේ ඉකුත් 2020 දෙසැම්බර් මස 14 වැනිදාය.
පැවරුම්කාරියගේ ස්වාමිපුරුෂයා ගොවිතැන් කරන බවත්, ඔවුන්ගේ මාසික ආදායම රුපියල් 7000/-ට අඩු බවත්
එහි දක්වා තිබී ඇත.
මෙම කාරණාව පසුව සැකයට බඳුන්වන්නේ අදාළ ඉඩමේ වාණිජ අරමුණින් යම් කටයුත්තක් ිසදුවන්නට යන බවට ප්‍රාදේශීය ලේකම්වරයාට ලැබුණ ඇමතුමක් නිසා සිදු කළ පරීක්ෂාවකදීය.
යහාලි එහි පදිංචිකාරියක බවට සඳහන් කරමින් ග්‍රාම නිලධාරියා සහතිකයක් ලබා දී තිබුණේ ඉකුත් 2020 ඔක්තෝබර් මස 29 වැනිදාය. යහාලි හා ඇගේ ගොවි සැමියාට අවුරුදු 18ට වැඩි අවිවාහක දරුවන් නොමැති බවත් වෙනත් යැපෙන්නන් නොමැති බවත්, එම සහතිකයේ සඳහන්කොට ඇත.මෙම ඉඩමේ පැවරුම්කාරිය ඉහළ ඇරැවුල, දඹුල්ලේ පදිංචි බවට සනාථ කිරීම සඳහා එම ලිපිනය සහිත ජාතික හැඳුනුම්පතක ඡායා පිටපතක් අදාළ ලිපිගොනුවට ඉදිරිපත් කර ඇති නමුත්,
සැකය මතුවූ පසු සිදු කළ පරීක්ෂාවේදී එම ලිපිනයෙහි අදාළ නම සහිත කාන්තාවක හෝ දරුපවුලක් පදිංචිව බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව කිසිඳු තොරතුරක් නොමැති බවත් එවන් ජාතික හැඳුනුම්පතක් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කර නොමැති බවත්  අනාවරණයවී ඇත.



ඒ නිසා මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරියාගේ සේවය අත්හිටුවීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළේය.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා සඳහන් කළේ, පහළ නිලධාරින් ලිපි ගොනුව සකස්කොට සනාථ කර තිබීම හේතුවෙන් තමා එම ඉඩම් පැවරීමට අදාළව එම ලිපිගොනුවට අත්සන් යෙදූ බවය.
ඉඩම් හිමිකම් පැවරීමේ සිද්ධියකදී ග්‍රාම නිලධාරියා සහ ඉඩම් නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමක් විශේෂ පෝරම් කිහිපයක් පිරවිය යුතුව ඇති බවත්, අඩු ආදායම්ලාභියකු බවට සහතික කිරිම, දරුවන් ඇත්නම් ඒ අයගේ කැමැත්ත ලබාගැනීම, වෙනත් සම්බන්ධකම් ඇත්නම් එය සනාථ කිරීම, පදිංචිය සනාථ කිරීම ආදී සියල්ල නිලධාරින් විසින් සිදුකළ යුතුව ඇති බවත් හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් මෙම වංචාව ගැන අනාවරණයවී ඇත්තේ මෙලෙස පවරාගත් ඉඩම වාණිජ කටයුත්තක් සඳහා යොදාගන්නා බවට තමන්ට ලැබුණ දුරකථන ඇමතුමක් ඔස්සේ සිදු කළ පරීක්ෂා කිරීමකදී බවත් හෝටලයක් හදන්න යනවා යනුවෙන් ඇමතුම ලැබුණ බවත් ඔහු පැවසීය.
ඇතුගල් පේඩිගේ පද්මිණී තමන්ට මුදල් ආධාර දුන් නිසා ඉඩම පැවරූ බව කියන නමුත් දැන් ඉඩම ලබාගත් තැනැත්තිය හඳුනන්නේ නැති බව කියා ඇත.
ග්‍රාම නිලධාරියාට අමතරව ඉඩම පරීක්ෂා කළ අනෙක් නිලධාරීන් පැහැදිලි උත්තර සපයා නැති අතර ඔවුන් ගැන පරීක්ෂණ සිදුවේ.
වැඩතහනමට ලක්වූ ග්‍රාම නිලධාරියාගේ දරුවෙකු මහනුවර ඉහළ මට්ටමේ පාසලකට ඇතුළත් කර ඇති බවත් එම කටයුත්තට උදව් කර ඇත්තේ අදාළ ක්‍රීඩකයාගේ බිරිය බවත් තොරතුරු හෙළීවෙමින් පවතී.