upper-kothmale-murder

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී ඉකුත් 25 දින තලවකැලේ පොලිසිය විසින් සොයාගත් කාන්තා මළ සිරුර හදුනා ගැනීමෙන් පසු සිදුකළ පරීක්ෂණ මගින් ඇයව ඇගේ සැමියා විසින් ඝාතනය කර සිරුර ජලාශයට ගෙනවිත් දමා තිබෙන බව අනාවරණය වී තිබේ.
මළ සිරුර ජලාශයේ පාවෙමින් තිබියදී සොයාගත් අවස්ථාවේ අදාළ කාන්තාව ජලාශයට පැන සියදිවි හානිකර ගන්නට ඇති බවට පොලීසිය සැකකරනු ලැබීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ආගරපතන පොලිස් වසමට අයත් ටොරිංටන් වතුයායේ පදිංචි වනරාජා සිත්තරවල්ලි (28) නැමති දෙදරු මවකි.


අඹුසැමි යුවළ අතර 23 දා නිවසේදි ඇතිවූ ආරවුලකින් පසු සැමියා විසින් පොල්ලකින් හිසට පහරදී බිරිඳ ඝාතනය කර 24 දින රාත්‍රියේ මළ සිරුර සැමියා විසින් වෑන් රථයකින් රැගෙන විත් ඉහළ කොත්මලේ ජලාශයට දමා ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ආගරපතන පොලිසිය පවසයි.
සැකකාර සැමියා ආගරපතන නගරයේ වෑන් රථ රියදුරෙකු ලෙස කටයුතු කරන බවත් 24 දින රාත්‍රියේ ඔහු හිමිකරුට පවසා වෑන් රථය නිවස රැගෙනවිත් අසල්වාසින්ට නොදැනෙන සේ බිරිඳගේ සිරුර වෑන් රථයේ දමාගෙන රැගෙන ගොස් ජලාශයට දමා තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මියගිය දෙදරු මවට අවු 1 ½ සහ අවු 04 ක වයසැති දරුවන් දෙදෙනෙකු සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් සැමියා පිළිබදව සැකසිතූ තලවකැලේ සහ ආගරපතන පොලිසියේ නිලධාරින් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි සැකකරු සියලු තොරතුරු ඔහු විසින් හෙළිකර තිබේ.
මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත. ඝාතනය සම්බන්ධයෙන් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය,සහකාර පොලිස් අධිකාරි ටි.ලුඩවයික් යන මහත්වරුන්ගේ උපදෙස් මත තලවකැලේ සහ ආගරපතන පොලිසිය වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.