sugar-price

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25ක් දක්වා අඩු කිරීම රාජ්‍ය ආදායම අහිමිවීමක් ලෙස ගණනය කිරීම නිවැරදි නොවන බවත්, එසේ බදු අඩු නොකළේ නම් වෙළෙඳ පොළෙහි මේ වනවිට සීනි කිලෝවක මිල රුපියල් 175ක් දක්වා ඉහළ යෑමට ඉඩ තිබූ බවත්  මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.සීනි බදු අඩු කිරීම හරහා රජයට දැවැන්ත ආදායම් අහිමි වීමක් පිළිබඳ නැගෙන චෝදනා හමුවේ පසුගිය 12දා මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්.ආර්. ආටිගල මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ භාණ්ඩාගාර ලේකම්වරයා,

"මේ ශත 25ක බද්ද අපි තවම වෙනස් කරලා නැහැ.

රුපියල් 135ට තිබුණු සීනි කිලෝව අද රුපියල් 115කට අඩු වී තියෙනවා. ඒ වගේම සීනි සඳහා CIF (මිල, රක්ෂණ හා ගැල් කුලී) වටිනාකම රුපියල් 72 සිට අද වනවිට රුපියල් 90ක් දක්වා වැඩිවීමක් තියෙනවා.මේ බද්ද අඩු නොකළේ නම් සීනි කිලෝවක මිල රුපියල් 135ක් නොවෙයි, රුපියල් 175ක් දක්වා ඉහළ යැමට තිබුණා. නමුත් අද රුපියල් 115යි. ඒ ප්‍රතිලාභය මහජනතාව වෙත ක්‍රමානුකූලව ලැබී තියෙනවා. සීනි සඳහා පවතින්නේ කතිපයාධිකාරී වෙළෙඳ පොළක්. පස් දෙනෙක් හයදෙනෙක් තමයි ඉන්නේ.මේ පිරිසම තමයි, 2015දීත් හිටියේ.පසුගිය ඔක්තෝබර් 13වැනිදා සීනි බද්ද කිලෝවකට රුපියල් 50 සිට ශත 25කට අඩුකළා. ඊට අමතරව ලූනු, පරිප්පු, සැමන් වැනි තවත් භාණ්ඩ කිහිපයක බදු අඩු කළා. රුපියල් බිලියන 15.9ක් සීනිවලින් ආදායම අහිමි වීමක් ගැන මුදල් අමාත්‍යාංශය කිවා යැයි කියා මාධ්‍යවල තියෙනවා. නමුත් අපි එසේ කියා නැහැ. එහෙම අපට කියන්න බැහැ. එවැනි පාඩුවක් නැහැ.

පෙබරවාරි මස 10වැනිදා දක්වා ආනයනය කළ සීනි ප්‍රමාණය 'පබ්ලික් ෆයිනෑන්ස් කොමිෂන්' එක අපෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ඔක්තෝබර් 13දා සිට පෙබරවාරි 10දා දක්වා ආනයන කළ සීනි ප්‍රමාණයේ යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. එහිදී රුපියල් 50 සිට ශත 25කට බදු අඩු වූ නිසා සීනි කිලෝවකට රුපියල් 49.75ක් අපට ආදායම නොලැබීමක් පෙනෙනවා. නමුත් ඒක ආදායම් අහිමි වීමක් කියා ඉන් කියැවෙන්නෙ නැහැ. ඒක තමයි, ප්‍රතිපත්තිය වන්නේ. මන්දයත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අනුව රජය විවිධ අවස්ථාවල බදු අඩු වැඩි කරනවා. මහජනතාව වෙනුවෙන් බදු වෙනස් කිරීමේ සම්පුර්ණ අයිතිය රජය සතු වෙනවා. ඒ නිසා එසේ බදු වෙනස් කිරීම ආදායම් අහිමි වීමක් ලෙස ගණනය කිර්ම නිවැරදි නැහැ" යනුවෙන් පවසා සිටියේය.
 (ෂමිල පෙරේරා )