rathmalana-missing-student-story

පසුගියදා රත්මලාන ප්‍රදේශයේ වාසය කරන කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ සිසුවෙකු නිවසින් අතුරුදන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවිය. ඔහුගේ මව දන්වා තිබුනේ තම පුත්‍රයා ගෙදරින් පිටවීමට ටියුෂන් පන්ති යන මුත් එසේ නොයන දිනයක උදේ සිට දැනුම්දීමක් නොකර නිවසින් ගොස් ඇති බවයි. සිසු දරුවා සොයා දෙන ලෙස ඇය කළ ආයාචනය අනුව පොලිසිය ඔහු ගැන සොයද්දී ගමන් මල්ලක්ද කරේ දාගෙන උදේ පාන්දර ඔහු පාරේ ඇවිද යන CCTV දර්ශන හමුවූ නමුත් ඔහු කොහාට යනවාදැයි නිශ්චිතව හඳුනාගන්නට තරම් ප්‍රමාණවත් දත්ත නොලැබිණි.
පැය හතළිස් අටක් තිස්සේ අතුරුදන්ව සිටි දහසය හැවිරිදි පාසල් සිසුවා සොයමින් පොලිසිය කණ්ඩායම් 04 ක් යෙදවූ නමුත් කිසිදු හෝඩුවාවක් නොලැබ තිබියදී පෙරේදා (20දා) රාත්‍රි 10.00ට පමණ ඔහු නිවසට පැමිණි බවත් කරදරයක් නැති බවත් මව දන්වා තිබුණි.


දරුවා තනිවම සිටින්නට ගිය බවක් මිස මේ කාලය තුළ ගත කළේ කොහිද යන්න මව මාධ්‍යයට දන්වා තිබුනේ නැත. මෙම දරුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයෙකු වන අතර විභාගය ආසන්න වත්ම කිසියම් පීඩනයකින් පාඩම් වැඩ කරමින් සිටි බව හෙළිව ඇත.
දරුවාට සිදුවූ දේ විමර්ශනය කරන ලද පොලිසියට දැනගන්නට ලැබී ඇත්තේ දරුවා මෙම පීඩනයෙන් මිදීමට තාවකාලික මාර්ගයක් සොයාගෙන ඇති සෙයකි. ඔහු නිවසට වැඩිදුරක නැති ස්ථානයක මොරටුව ලක්ෂපතියේ පිහිටි වසා දමා තිබූ පාසලක් වෙත ගොස් තිබෙන අතර එහි පන්ති කාමරයක දින දෙකක්ම ගත කර ඇත.
 එම කාලසීමාව තුළ  බිස්කට් කමින්, වතුර බොමින් කාලය ගතකර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
තමාට පාඩම් කරන්න කියමින් පීඩාවක් පැවති බවත් දරුවා දන්වා ඇත. නිවසේ ඇති අහිතකර වටපිටාව හේතුවෙන් ඇතිවූ පීඩාව නිසා තනියම සිටීමට සිතා නිවසින් ගොස් නැවත නිවසට පැමිණි බවට දරුවා හෙළිකර ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
මොහු දරුවන් සිව්දෙනකුගෙන් යුත් පවුලක තෙවැනි දරුවා වන අතර පියා විදේශගතව සිටී.


සිසුවාගේ නිවසට ගොස් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර
දරුවාට ඇතිවූ මානසික ව්‍යාකූලත්වය නිසා නිවසින් ගිය බවත්, තමන් බෝලයක් ගැනීමට පාසල් භුමියට ඇතුළු වූ බවත් පසුව එහි නතරවන්නට අදහස් කළ බවත් පවසා ඇත. ඒ අනුව මොරටුව ලක්ෂපතියේ වසා දැමූ පාසලක දින දෙකක් ගත කළ බවත් සිසුවා හෙළි කර ඇත. නිවසින් රැගෙන ගිය බෑගයේ වූ බිස්කට් කා වතුර බී සිටි බවත් ඔහු පවසා තිබේ.
සිසුවා කළ ප්‍රකාශය අනුව ලක්ෂපතියේ අවට නිවෙස් වලින්  සාක්ෂි ලැබී ඇති අතර සිසුවා පාසලට යන අයුරු දුටු අය දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.
දරුවාගේ ගැටලුව මානසික පීඩනය මත සිදුවූවක් ලෙස පොලිසිය හඳුනාගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ හා උපදේශනය සඳහා වෛද්‍යවරයකු හමුවට පැමිණවීමට නියමිතය.