prison-officer-arrested

යාපනය බන්ධනාගාරයේ නියාමකවරයකු රුපියල් හාර ලක්ෂයකට ආසන්න හෙරොයින් ග්‍රෑම් 45ක් සමඟ
යාපනය, මාටින් වීදියේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ යාපනය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු මත යාපනය සුරාබදු ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු
පරීක්ෂක පී.එන්. හේමන්ත මහතා ඇතුළු සුරාබදු නිලධාරීන් විසින් මෙම වැටලීම පෙරේදා (20දා) සිදුකර ඇත.



සැකකාර බන්ධනාගාර නියාමකවරයා දීර්ඝ කාලයක සිට සිය නිල ඇඳුමට මුවාවී මත්ද්‍රව්‍ය ජාවාරම
මහ පරිමාණයෙන් සිදුකොට ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම නියාමකවරයාගේ සැක කටයුතු හැසිරීම් ගැන බන්ධනාගාර බුද්ධි අංශයද විමර්ශනයන් ආරම්භ කර තිබූ
බව පසුව දැනගන්නට ලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටී.

සැකකාර බන්ධනාගාර නියාමකවරයා යාපනය, නවන්තුරෛ පදිංචි 36 හැවිරිදි අයෙකි.

මොහු සන්තකයේ තිබී ඇත්තේ බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් බවද අනාවරණය වී ඇත.



සැකකරු පෙරේදා (20දා) දිනම යාපනය මහෙස්ත්‍රාත් නාලිනී කන්දසාමී මහත්මිය වෙත ඉදිරිපත්
කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම, සුරාබදු අධිකාරි එස්. තංගරාජා යන නිලධාරීන්ගේ
උපදෙස් මත යාපනය සුරාබදු ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්තගේ
නියෝග හා මෙහෙයවීම මත සුරාබදු පරීක්ෂක එස්. අමිරාජ්, සුරාබදු නියාමක පී. අනෝජන් (1014)
ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.


චාමර අමරසූරිය, වවුනියාව - එන්. ප්‍රියදර්ශනී,
මුලතිව් - ශෂිකුමාර්, වවුනියාව - රසාදි චතුරංගි ගමගේ