new-gazzte-private-sector

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල  ආයතනික අවශ්‍යතාව පරිදි, යම් සේවකයෙකුගේ සේවය අවසන් කරන්නේ නම්, ඔහුට ලබාදිය යුතු වන්දි මුදල් උපරීමය රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීරිති මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

සේවකයකුගේ සේවය අවසන් කිරීම සම්බන්ධ වන්දි මුදල ලෙස අර්ධ රාජ්‍ය ආයතන වන සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනද පෞද්ගලික අංශයේ ආයතනද රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක උපරීම මුදලක් ගෙවීම මේ දක්වා සිදුකෙරිණි.එම නීති සංශෝධනය කරමින් එම මුදල මෙලෙස රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇත.ඒ අනුව, 1971 අංක 25 දරන කම්කරුවන්ගේ රැකියාව අවසන් කිරීමේ විශේෂ විධි විධාන පනතට ප්‍රකාරව 2005 ප්‍රකාශයට පත් කළ අදාළ වන්දි සූත්‍රයට අනුව මෙම ගෙවීම් මුදල සංශෝධනය කර ඇති බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.



කම්කරු ජනතාවට උපරිම සහන සැලසීමේ පරමාර්ථය පෙරදැරීව මෙතෙක් පැවති වන්දි මුදල වන 1,250,000 වදි මුදල රුපියල් ලක්ෂ 25දක්වා වැඩි කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. මෙම වන්දි මුදල වැඩි කරනු ලැබූයේ වසර පහළොවකට පමණ පසුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම වර්තමානයේ රැකියාවක් අහිමි වන පුද්ගලයෙකුට රුපියල් 1,250,000 ඔහුගේ ඉදිරි ජීවිකාව පවත්වාගෙන යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, ඔහුගේ පවුලේ වියදම් සඳහා එම මුදල ප්‍රමාණවත් නොවන බවත් විවිධ සංවිධාන හා වෘත්තීය සමිති විසින් පෙන්වා දීමද පිළිගනිමින් මෙම පනත සංශෝධනය කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.මෙම වන්දි මුදල ගෙවීම පෙබරවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

(චාමර සම්පත්)