national-hospital-colombo-nurse-death

කොළඹ ජාතික රෝහලේ සේවය කළ හෙදියක එම රෝහල තුළ හදිසියේ මියයෑම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් උදාවී ඇත.




පසුගිය 10 වනදා ඇය සේවය කරමින් සිටි රෝහලේ 40 වැනි වාට්ටුවේ කාමරයක බිම ඇය ඇදවැටී සිටියේ මියගොස්ය. ඇය සියදිවිනසාගැනීමේ අදහසින් එන්නතක් විදගෙන ඇති බවට සැකයක්ද පැනනැගී තිබුණි.
රෝහල් නේවාසිකාගාරයේ නැවතී සිටි මෙම විවාහක හෙදිය රෝහලේ වෛද්‍යවරයෙකු සමග රහසිගතව අනියම් ඇසුරක් පවත්වමින් සිට ඇති අතර එය ඇගේ විවාහක ගුරු සැමියාට හෙළිවීමෙන් පසු ආරවුල් කතාබහක් ඇතිව තිබූ බවත් ඇගේ හදිසි මරණය වාර්තාවන්නේ ඊට පසුදා වීමත් නිසා මෙම සැකය මතුවිය.
 මෙලෙස මියගොස් ඇත්තේ බැලූ‍න්ගල, පන්සල පාරේ පදිංචිව සිටි සිංහලගේ නෙරංජලා මධුවන්ති (28) නමැති හෙද නිලධාරිනියකි.
හදිසි මරණ පරීක්ෂණය පැවැති අවස්ථාවේ මියගිය හෙද නිලධාරිනියගේ සැමියා මෙසේ පවසා තිබේ.

”‍මියගොස් සිටින්නේ මගේ බිරිඳ. මම ගුරු වෘත්තියේ නියැලෙන කෙනෙක්. අපි විවාහ වෙලා අවුරුදු තුනයි මාස තුනක් වෙනවා.අපට දරුවන් තවම ලැබී තිබුනේ නැහැ. දන්න විදිහට ඇයට බබෙක් හම්බවෙන්න හිටියේත් නැහැ.
 ‍අපි ඉන්නෙ මගේ අම්මා තාත්තගේ මහගෙදර. ගෙදර ඉන්නේ මගේ අම්මයි, තාත්තයි, මගේ නංගියි. සතියකට තුන් වරක් වගේ එයා ගෙදර ඇවිල්ලා ගියා. ඇය අනිත් දවස්වල රෝහලේ ක්වාටස්වලයි හිටියේ.


මම එයාට ගොඩක් නිදහස දුන්නා. යන්න එන්න ඕන තරම් ඉඩකඩ දුන්නා. කිසිම සැකයක් තිබුණේ නැහැ. ගෙදර ඇය හොඳින් හිටියා.
 10 වනදා තමයි ඇය මියගියේ. 09 වැනිදා වෙනකම් ඇය හොඳින් හිටියා. කිසිම වෙනසක් පෙන්නුවේ නැහැ. 09 වැනිදා රාත‍්‍රී එයාගේ හෑන්ඩ් ෆෝන් එක මම ඉල්ලා ගත්තා. ෆෝන් එකේ පාස්වර්ඩ් එක දන්න නිසා මම බැලූ‍වා.
එයාගේ වට්ස්ඇප් මැසේජ් සේරම බැලූ‍වා. සැකේට නෙමෙයි නිකම් බැලූ‍වා. කලිනුත් මම මෙහෙම බැලූ‍වා. මොකුත් වෙනසක් වෙලා නැහැ. ඊට පස්සෙ බලපු වට්ස්ඇප් මැසේජ්වලින් අනියම් ඇසුරක් හමුවුණා. මැසේජ් තිබුණා. ෆොටෝ තිබුණා. ඒ පුද්ගලයා සමඟ සතුටු වෙච්ච එක ගැන, ආහාර අනුභව කරපු එක ගැන මැසේජ් කර තිබුණා. ඊට පසුව මා ඇගෙන් මේ ගැන ඇසුවා ඇයි මෙහෙම දෙයක් කළේ කියලා.මැය මගේ පළවැනි ආදරේ. මා මැයත් එක්ක හොඳින් සිටියා. ඇයගෙන් මා ප‍්‍රශ්න කළාම එයා එම අනියම් සම්බන්ධය පිළිගත්තා.
මේවා සේරම එයා පිළිගත්තා.‍පසුව දැනගත්තා මේ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ වැඩකරන වෛද්‍යවරයෙක් බව. එයාගේ ෆොටෝ එකක් තිබුණා.
09 වනදා ගෙදර ඉඳලා එයා 10 වනදා වැඩට ගියා.
10 වැනිදා හවස මට රෝහලෙන් කෝල් එකක් ආවා. මෙයාට අසනීපයි කියලා. පසුව මා සවස 6.00 ට විතර රෝහලට ගියා. එහිදී මැය මියගොස් ඇතැයි මා දැනගත්තා.  ඊට පසුව මේ ගැන මම ඇගේ දෙමාපියන්ටත් දැනුම් දුන්නා. ඇයට කරදරයක් වෙලා ඉක්මණට එන්න කියලා. ඇගේ දේහය බැලූ‍වා. දේහය මා ඇගේ දෙමාපියන්ට භාරදුන්නා...“
 මියගිය හෙද නිලධාරිනිය වැටී සිටි ස්ථානය අසල එන්නත් කටුවක් ද තිබී පොලිස් භාරයට ගත් බව පොලීසිය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියට දන්වා සිටියේය.
 මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඞ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ධම්මි ලූ‍විස් මහත්මිය විසින් පවත්වනු ලැබුවාය.
 මරණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරියට සොයාගත නොහැකිවීම නිසා හෙද නිලධාරිනියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත. වැඩිදුර විභාගය සඳහා 19 වැනිදාට කල් තබා ඇත.