narammala-incident

මේ දිනවල අනියම් පෙම් පළහිලව් සම්බන්ධ ආරංචි රැසකි. ඊයේ (03) දිනයේ දී අනියම් පෙමක් නිසා අහිමි වූ තවත් ජීවිතයක් පිළිබඳව කුරුණෑගල නාරම්මලින්ද වාර්තා විය.
කුරුණෑගල පහමුණේ ප්‍රදේශයේ දී මෝටර් රථයකින් යතුරුපැදි දෙකක් යටකර එක් යතුරුපැදිකරුවකු කපාකොටා ඝාතනය කර තිබූ බව නාරම්මල පොලිසිය කියයි.  මෙම ඝාතනය කළ බව කියන පුද්ගලයකු පොලිසියට බාර වූ පසු අනාවරණයවී ඇත්තේ තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එවමින් තමන්ට අපහාස කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවයි. 

කලක සිට තිබූ මෙම ආරවුල හේතුවෙන් ගැටුම ඇතිවී තිබෙන බවට ඔහු කියා තිබේ.
තමන්ගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන මියගිය පුද්ගලයා ඇගේ අසභ්‍ය ඡායාරූප එවමින් තමන්ට වදයක් වූ බවත් ඉමහත් අපහාස කළ බවත් අවසානයේ මරා දමන්නට තීරණය කළ බවත් ඔහු පාපොච්චාරණය කරමින් පවසා ඇත.
මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයාට සහ යතුරුපැදි වලින් පැමිණි අය හැකි නම් හමුවන ලෙස එකිනෙකාට  අභියෝග කරගෙන තිබූ බවද එම අවස්ථාවක ඊයේ සවස 4.30 ට පමණ රඹාවැව, නාරම්මල මාර්ගයේ පහමුණේ ප්‍රදේශයේ දී එකිනෙකා හමුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

එම අවස්ථාවේ දී මෝටර් රථයේ පැමිණි පුද්ගලයා යතුරුපැදිය යටකර තමා සමග ආරවුල ඇති පුද්ගලයා කපා කොටා මරාදමා ඇතැයි පොලිස් පරික්ෂණවලදී හෙළිවී ඇත. යතුරුපැදිවල පැමිණි තවත් දෙදෙනකු පලාගොස් ඇති බවද පොලිසිය කියයි.මෙම අපරාධය සිදුව තිබුණේ ඊයේ සවස 2.30ට පමණය.
මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා පහමුණේ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 ක අයකු වන අතර මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 39 ක කිලින්පොළ පදිංචිකරුවෙකි. කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජානක වත්තේගෙදර මහතා ඊයේ සවස ස්ථානය සහ මළසිරුර පරික්ෂා කර බලා  සිරුර අධිකරණ වෛද්‍ය පරික්ෂණයට යැවීමටත් පොලිසියට නියෝග කළේය. මියගිය පුද්ගලයාගේ සිරුර කටුපොත රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.