mount-lavinia-accident

ගල්කිස්ස මසන්ධියේ ගාලු පාරේ ආලෝක සංඥා කුලුන ආසන්නයේදී පෙරේදා (03දා) රාත්‍රී බලපත්‍ර නොමැතිව බීමතින් ජීප් රථයක් පදවා අනතුරක් සිදු කර වයස අවුරුදු 6 ක පිරිමි දරුවෙකුට මරු කැඳවූ ව්‍යාපාරිකයා එළැඹෙන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් සී.ඒ.ධර්මතිලක මහතා ඊයේ (04දා) නියෝග කළේය.  

ගල්කිස්ස මංසන්ධියේ ගාලු පාරේ ආලෝක සංඥා කුලුන ආසන්නයේදී බලපත්‍ර  නොමැතිව බීමත්ව කෝටිපති ව්‍යාපාරිකයෙකු පදවූ ජීප් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන්  සිදු වූ අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත්  වයස අවුරුදු 6 ක පිරිමි දරුවෙක් ජීවිතක්‍ෂයට  පත්වූ බව ගල්කිස්ස පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.


අනතුරින් මිය ගොස් ඇත්තේ පවුලේ එකම දරුවා බවත් අනතුර සිදු වන අවස්ථාවේ දී අනතුරින් මිය ගිය දරුවාත්  ඔහුගේ මව (45) සහ ඔවුන්ගේ ඥාති දරුවෙක් (5) සහ එම දරුවාගේ මව ත්‍රීරෝද රථය පැදවූ මිය ගිය දරුවාගේ පියා (50) ගමන් කර ඇතැයි  ගල්කිස්ස පොලීසිය කරුණු දක්වමින් දන්වා සිටියේය.


ත්‍රීරෝද රථයේ ගමන් කළ මිය ගිය දරුවාගේ මව මේ වනවිට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටින අතර පියාද බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඥාති  දරුවාගේ පාදයකට සිදු වූ බරපතල හානි  හේතුවෙන් ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බව ගල්කිස්ස පොලීසිය අධිකරණය හමුවේ පැවසීය.


ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණුවලට අනුව අනතුර සිදු වන අවස්ථාවේ දී ජීප් රථය පැදවූ ව්‍යාපාරිකයා බීමත්ව  සිට ඇති බවත් ඔහුට රියදුරු බලපත්‍රයක්ද  නොමැති බවට ගල්කිස්ස පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරිහු අධිකරණය හමුවේ පැවසූහ.

 -දිලංගා ගෝමස්-