නැගෙනහිර ඉන්දුනීසියාවේ මාකසාර්හි රෝමානු කතෝලික ආසන දෙව්මැදුරක අද 28 ඉරිදා උදෑසන පැවති පාම් ඉරිදා දේව මෙහෙය අතරතුර පුපුරායාමක් සිදුවීමෙන් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය සැලසුම් කළ මරාගෙන මැරෙන පුද්ගලයින්ට පිපිරීම වැරදී ඇති බවත් ඔවුන් පල්ලි දොර ආසන්නයේ කැබලිවී ගොස් ඇති බවත් වාර්තා වී ඇත.
කිතුනුවන්ගේ ශුද්ධ දිනයක් වන පාම් ඉරිදා සන්සුන් භාවය බිඳ දැමුණ නමුත් මෙම සිද්ධියෙන් සාමාන්‍ය පුද්ගල මරණ කිසිවක් තවම වාර්තාවී නැති බව බලධාරීන් දන්වා ඇත. තුවාල ලද 14 දෙනෙකු මාකසාර් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.
පිපිරීමට ටික වේලාවකට පෙර යතුරුපැදියක ආ දෙදෙනෙකු පල්ලියේ ආරක්ෂක භටයන් විසින් නැවැත්වූ බවත් පිපිරුම ඒ අවස්ථාවේ සිදුව ඇති බවත් හඳුනාගෙන ඇත. දේව මෙහෙය අවසන් වන අවස්ථාවේ ඇතුළත පුපුරුවන්නට සැලසුම් කර තිබූ නමුත් කල් ඇතිව පිපිරීම සිදුව ඇතැයි හඳුනාගන්නට ලැබෙන බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
පිපිරීමෙන් ටික වේලාවකට පසුව ගන්නා ලද, දුමාර සුන්බුන් සහ තල් අතු බිම විසිරී ඇති වීඩියෝවක්ද එරට සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී.
මෙම ස්ථානය වටා ශරීර කොටස් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බවත්, ඒවා යතුරුපැදියේ සිටි පුද්ගලයින්ට අයත් දැයි සොයා ගැනීමට පොලිසිය උත්සාහ කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ආසන දෙව්මැදුරේ පූජක විල්හෙල්මස් තුලක් පියතුමා ඉන්දුනීසියානු මාධ්‍ය ජාලයක් වන මෙට්‍රෝ ටීවී වෙත පැවසුවේ යතුරුපැදිකරුවන් දෙදෙනා නැවැත්වීමට උත්සාහ කිරීමේදී පිපිරීම සිදුව ඇති බවයි.
ලෝකයේ විශාලතම මුස්ලිම් බහුතරය සිටින රට ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ සැලකිය යුතු ක්‍රිස්තියානි සුළුතරයක් සිටී.
සිද්ධිය සම්බන්ධ බීබීසී වීඩියෝ වාර්තාවක් පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval