ජනගහන අනුපාතයට සාපේක්ෂව කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි. මේ නිසා ඉදිරි කාලයේදී කොළඹ නගරයේ ජනතාවට වායුගෝලයේ ඔක්සිජන් හිඟවීමේ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇතැයිද එම සමීක්ෂණයේදී අනාවරණයවී තිබේ.

මෙම තත්ත්වය ජනතාවට තවමත් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටා තිබෙන නිසා සාගරයේ නිපදවෙන ප්ලවාංග නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ළඟාවීම නිසා බවද පරිසර විශේෂඥයෝ පවසති.



පරිසර අමාත්‍යාංශයේදී පෙරේදා (03 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.මෙම සාකච්ඡාවට පරිසර ඇමැති මහින්ද අමරවීර, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩසටහනක් ආරම්භ කරන බව කොළඹ නගරාධිපතිනිය මෙම සාකච්ඡාවේදී පැවැසුවාය. එමෙන්ම කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහය ලබා දෙන ලෙස නගරාධිපතිනිය පරිසර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියාය.

මෙම සාකච්ඡාවේදී පරිසර ඇමැති මහින්ද අමරවීර කියා සිටියේ කොළඹ නගරයේ වායු දුෂණය,ශබ්ද දූෂණය ඇතුළු පරිසර දූෂණ තත්ත්වයන් වැළැක්වීම සඳහා ගන්නා වැඩපිළිවෙළට පරිසර අමාත්‍යාංශය උපරිම සහයෝගය ලබාදෙන බවය.

කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා පරිසර අමාත්‍යාංශය සහ කොළඹ මහ නගර සභාව එක්ව රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී තීරණය විය. කොළඹ මහ නගර සභාව සකස් කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩපිළිවෙළට අදාළ වාර්තාව නගරාධිපතිනිය විසින් පරිසර ඇමැතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දුන්නාය.



ඇමරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව මේ දිනවල කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය 90 ක් ලෙස දැක්වෙන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ,පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි කීවේය. ඉන්දියානු සාගර කලාපයෙන් හමා එන දූවිලි වලාවන්ගේ බලපෑම මත කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය මෙලෙස ඉහළ ගොස් තිබේ.වායු තත්ත්ව දර්ශකය 50 ට අඩු අගයක් පෙන්නුම් කරන්නේ නම්,එම පරිසරයේ වායු තත්ත්වය හොඳ මට්ටමක පවතී.

සාලිය කුමාර ගුණසේකර