wimal weerawansa

දේශපාලන පක්ෂයක සාමාජිකයකුට තවත් දේශපාලන පක්ෂයක් පිළිබඳව කතා කිරීමට නොහැකි යැයි කියා
කිසිදු නීතියක් නොමැති බවත්, කතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්වත් අහුරා නැති බවත් කර්මාන්ත
අමාත්‍ය විමල් වීරවංශ පැවැසීය.

ඊයේ (9දා) මීගමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේ පසුගියදා
(8දා) ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ අමාත්‍යවරයා සම්බන්ධයෙන්
පළකළ විවේචනාත්මක අදහස් පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.



එහිදී විමල් වීරවංශ මහතා මෙසේද කීය.

“2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයව දිනවන්න කටයුතු කිරීම වරදක්ද? ඒ වගේම යුද්ධය
යන වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව වට්ටන්න කටයුතු කරන විට පක්ෂයෙන් එළියට ඇවිල්ලා
සහයෝගය දීම වරදක්ද? 2015 ජනවාරි 8දාට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාට නැවත රටේ
දේශපාලනයේ නව ගමනක් අරඹන්න නුගේගොඩින් මහින්ද සුළඟ ආරම්භ කරන්න පුරෝගාමී වූ අයගෙන් කෙනකු
වීම වරදක්ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරමින් එය යථාර්ථයක් කරගන්න කටයුතු කරපු
එක වරදක්ද? මේ සියලු දේවල් වැරැදි නම් ජාතියෙන් සමාව ගන්න සූදානම්.

අප දේශපාලන සන්ධානයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණයි. ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපතිවරයා එම පක්ෂයේ යම් ඉහළ තනතුරක සිටි යුතුයි කියලායි අප කියන්නේ. නමුත් එයින් අදහස්
වන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා නායකත්ව තනතුරේ නොසිටිය යුතුයි කියලා.

මහින්ද රාජපක්‍ෂ මහත්තයා කොහොමත් නායකත්ව තනතුරේ ඉන්න ගමන් තවත් සුදුසු තනතුරකට ගෝඨාභය
රාජපක්ෂ මහත්තයා සිටියා නම් මේ රටේ දේශපාලන බලවේග සමඟ තිබෙන සහසම්බන්ධය මීට වඩා වැඩි
කරගන්නට හැකියි. 

එය ආණ්ඩුවේ ගමනටත් රටේ උන්නතියටත් උපකාරි විය හැකියි.

තවත් පක්ෂයක හිටියා කියලා වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බැහැ කියලා නීතියක් නැහැ. එහෙම
කතා කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සීමා කරලා නැහැ. එහෙම නම් අපිට එජාපය ගැන
කතා කරන්න බැහැ. ජේ.වී.පී. එක ගැනත් කතා කරන්න බැහැ. එහෙම දෙයක් නැහැ. මේ කතා මේ
එක එක්කෙනා හදාගත්තු පටුසීමා.

පොඩි ළමයි සමහර වෙලාවට බඩු මුට්ටු පොඩි  කරගන්න ඒවා ගැන මම එච්චර කතා කරන්න කැමැති නැහැ.

අපේ පක්ෂයට සම්බන්ධව ඔත්තුකාරයෝ ඉන්නවා නම් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ පොලිස්පතිතුමාට
කියලා ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. මුලින්ම එහෙම ඔත්තුකරුවන්  අපේ පක්ෂයේ ඉන්නවා කියපු
කෙනාගෙන් කට උත්තර ගත යුතුයි. ඊට පස්සේ අනෙක් කරුණු ගැන සොයලා බලලා අවශ්‍ය ක්‍රියා මාර්ග
ගන්න. ඕවා පිළිබඳ සමහරු කියන කතා බොරු අවලාද.”

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, මීගමුව - නිමන්ති ප්‍රනාන්දු, කටාන _ බර්ටි වීරසිංහ