ukraine-sri-lanka-tourism

ජනවාරි 21 වැනිදා සිට රට සංචාරකයන්ට විවෘත කිරීමේන් පසු ගත වූ කාලය කුළ සංචාරකයන් 3,820ක් දිවයිනට පැමිණ තිබේ.  ඔවුන්ගෙන් වැඩිම පිරිස පැමිණ ඇත්තේ යුක්‍රේනයෙනි.  එම සංඛ්‍යාව 1374කි. කසකස්තානයේ සංචාරකයන් 526ක් මේ වනවිට පැමිණ ඇති  අතර, ඉන්පසු වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම ගණන 443කි.  සංචාරකයන්ට රට විවෘත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැති රැස්වීමකදී මේ බව අනාවරණය වී ඇත.




මේ වනවිට නව ගුවන් සමාගම් 05ක් ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන  බවද මෙහිදී අනාවරණය විය. ෆ්ලයි ඩුබායි,  එයාර් ඇරබියා, සලාම් එයාර්, ජසීරා, ගල්ෆ් එයාර් යන ගුවන් සමාගම් මෙලෙස ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඉන් ගුවන් සමාගම් 03ක්  දැනටමත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇතැයිද මෙහිදී අනාවරණය විය. එයාර් ඇරබියා, ෆ්ලයි ඩුබායි හා සලාම්  එයාර් එම ගුවන් සමාගම් වෙයි.


ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ සෙසු ගුවන් සමාගම් සමගද ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට දින යොදාගෙන ඇති බවයි. කටුනායක මෙන්ම මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් මෙම ගුවන් ගමන් ආරම්භ කරන බව ඇමතිවරයා මෙහිදී කීවේය.  කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ මගින් සංචාරකයන් පැමිණීමේදී ඔවුන්ට කිසිදු බාධාවක් ඇති නොවන පරිදි අදාළ වැඩපිළිවෙළ සකස් කර ඇතැයිද කටුනායක ගුවන්තොටුපොළ බලධා මෙහිදී කියා සිටියහ.




ගුවන්තොටුපළේදී සංචාරකයන් හා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වීම වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් යළි යළිත් අවධානය යොමු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වාගැනීම සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් වහාම ආරම්භ කරන ලෙසද ඇමතිවරයා මෙහිදී සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.