tik-tok-putin

බොහෝ විට ටික් ටොක් නමැති සමාජ මාධ්‍ය වේදිකාව ලෝකය පුරා පැතිර යන්නේ ජනප්‍රිය රැල්ලේ විනෝදාත්මක දේවල් හුවමාරුව සඳහාය. නමුත් මේ වනවිට විපක්ෂ නායකයෙකුට අසාධාරණයක් සිදුවී  අවුල් සහගත දේශපාලන පරිසරයක් නිර්මාණයවී තිබෙන රුසියාවේ පුටින් රජයට එරෙහි දේශපාලනික මතවාද හා ප්‍රහසන අංග පළවන වේදිකාවක් බවට එරට ටික්ටොක් භාවිතාව සිදුවන බව techcrunch තාක්ෂණික වෙබ් අඩවිය මගින් විස්තර කර තිබේ.


රජයට එරෙහිව මහජනතාව පෙළගැස්වීම සහ පුටින් විරෝධී, දූෂණ විරෝධී දේශපාලක ඇලෙක්සි නවාල්නිට සැලකීම වෙනුවෙන් තරුණයින් නිදහස් කථනය පිළිබිඹු කරමින් වීඩියෝ නිර්මාණය කිරීම මේ දිනවල එරට සිදුවන බව වාර්තාවේ.
පුටින්ගේ රජය සමඟ නවාල්නිගේ දීර්ඝ කාලීන සටනට දේශපාලන දඩුවම්, සිරගත කිරීම් සහ විෂ කැවීමක් ඇතුළත් වේ. නවාල්නි ජර්මනියේ සිට රුසියාවට නැවත පැමිණි පසුව අත්අඩංගුවට ගැනීම සහ විවිධ චෝදනා නගා වරදකරුවෙකු කිරීම යන සියල්ල හරහා නවාල්නි ඒකාධිපති විරෝධී වීරයාගේ චරිතයට පණගසා තිබේ.
රජය දුර්වල ආර්ථිකය ගැන හා COVID-19 හසුරුවන ආකාරය දුර්වලවීම පිළිබඳව දැනටමත් බොහෝ දෙනා නොසතුටින් සිටින අතරවාරයේ මේ සියල්ල සිදුවෙමින් පවතී.

 ටික්ටොක් හැඩගස්වා ඇත්තේ සමාජ සිතුම් පැතුම් නිරුපණයක් ලෙසය. ඒ නිසා රුසියානු සමාජය විනෝද අංග ගැන නොව ඒකාධිපති පීඩනයකින් බැට කන බව ටික්ටොක් නිරීක්ෂණයේදී පෙන්නුම් කර තිබේ.
නවාල්නි නැවත පැමිණීමට පෙර රුසියානු ටික්ටොක් නැටුම්, විහිළු සහ පශ්චාත් සෝවියට්  සෞන්දර්යය පිළිබඳ විෂය වූ බවත් හාස්‍යය, අලංකාරය, ක්‍රීඩාව යන සෑම අංශයකින්ම හදිසියේම දේශපාලන වීඩියෝ දර්ශනය වීමට පටන් ගෙන තිබීම නව ප්‍රවණතාව බවත්  techcrunch විස්තර කරයි.


ගෝලීය වශයෙන් මේ දක්වා බිලියන 2.66 කට වඩා වැඩි ගණනක් ටික් ටොක් තම දුරකථනවල ස්ථාපනය කර ඇති අතර ටික් ටොක්හි චීන අනුවාදය වන ඩුවින් ද ඇතුළත්ව රුසියාවේ මිලියන 93.6 ක් ටික්ටොක් ස්ථාපනය කිරීම් සිදුව ඇති බව සෙන්සර් ටවර් සංඛ්‍යාලේඛන මගින් තහවුරු කර තිබේ.
දෙසැම්බර් මස අග මොස්කව් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව රට තුළ සක්‍රීය පරිශීලකයින් මිලියන 20 ක් පමණ සිටින අතර එය 2019 වසර අවසානයේ තිබූ මිලියන 8 ට වඩා දෙගුණයකටත් වඩා වැඩිවීමක් බවද හඳුනාගෙන ඇත.
ඒ අනුව ටික්ටොක් රුසියානු සමාජයේ විශාල බලපෑමක් කළ හැකි මාධ්‍යයක් බවට පත්ව තිබේ.